Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා එම ධුරය රැක ගැනීමට සමත්වේද නැතහොත් හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා නැවත බලයට පත්වේද යන පැනවලට විසඳුම් ලැබෙන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය (2017-20) අද (30) පෙරවරු 9.00 කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙවර මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ විශේෂත්වය වන්නේ ඉන් පත්වන සභාපතිවරයා ඇතුළුව නිලධාරී මණ්ඩලය වසර 4 ක කාලයක් සඳහා පත්වීමය. මේ දක්වා මලල ක්‍රීඩා සංගමයේ පැවැති නිලවරණවලදී පත්වූ නිලධාරීන්ගේ ධුර කාලය වසර දෙකකට පමණක් සීමාවිය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අද පැවැත්වීමට නියමිත නිලවරණය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට මලල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු ඊයේ (29) දැරූ උත්සාහය කොළඹ දිසා අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණ. එම තත්ත්වය තුළ මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය අද කැඳවීම සම්බන්ධයෙන් පැන නැගී තිබූ අවිනිශ්චිතභාවය දුරු විය. කෙසේ වුවත් අද මලල ක්‍රීඩා නිලවරණය කැඳවීම වැළැක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කළත් නාමයෝජනා කීපයක් සම්බන්ධයෙන් ගොනු කර තිබෙන විරෝධතාවය ලබන ජුනි 26 වැනිදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය ඊයේ තීරණය කර තිබිණ.
සුගත් තිලකරත්න මහතා හා පාලිත ප්‍රනාන්දු මහතා අතර මෙවර සභාපති ධුරයට තියුණු සටනක් ඇතිවී තිබෙන අතර පාලිත ප්‍රනාන්දු මහතාට සහාය පළ කරමින් මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම්වරයකු වන ජී.එල්.එස්. පෙරේරා මහතාද නාමයෝජනා ඉදිරිපත් කර තිබේ. එසේ වුවත් ඔහු එම නාමයෝජනාව හෙට ඉල්ලා අස්කරගැනීමට නියමිත අතර උපසභාපති ධුරයකට තරග වැදීමට නියමිතව ඇතැයිද මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන් මලල ක්‍රීඩා සංගමයේ යළි සභාපති ධුරයට පත්වුවහොත් මේ වනවිට කඩා වැටීමකට ලක්ව තිබෙන රටේ මලල ක්‍රීඩාව ගොඩ නැංවීමට අලුත් ව්‍යාපෘති ක්‍රියාවට නංවන බවත් නව අනුග්‍රාහකයන් දේශීය මලල ක්‍රීඩාවට කැඳවා ගෙන එන බවත් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි.
වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා පවසන්නේ වසර දෙකක් වැනි කාලයකින් පමණක් මෙරට කඩා වැටුණු මලල ක්‍රීඩාව ගොඩගත නොහැකි බවයි. එබැවින් දේශීය මලල ක්‍රීඩාව නැංවීමේ තමාගේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා තමන් යළිත් සභාපති ධුරයට පත්වීමේ වරමක් අද නිලවරණයෙන් අපේක්ෂා කරන බව තිලකරත්න මහතා පවසයි.
ඉදිරි වසර හතරක කාලය සඳහා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයට ප්‍රේමා පින්නවල මහතාත්, භාණ්ඩාගාරික ධුරයට ශාන්ත ද සිල්වා මහතාත්, උපලේකම් ධුරයට බර්නාඞ් පෙරේරා මහතාත් නිතරගයෙන් පත්ව සිටිති.
පින්නවල මහතා 1998 සිට 2005 දක්වාත්, 2007 සිට 2010 දක්වාත් නැවත 2013 - 14 කාල සීමාවේදීත් මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයේ කටයුතු කර තිබේ. පාලිත ප්‍රනාන්දු මහතා වසර 2007 සිට 2011 දක්වාත් නැවත 2013 - 14 කාල සීමාවේදීත් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයේ කටයුතු කර තිබේ.
අවසන් වරට වසර 2015 මැයි 14 වැනිදා පැවැති මලල ක්‍රීඩා සංගමයේ (2015 - 17) නිලවරණයේදී වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා එම ධුරයට පත්වූයේ වැඩි ඡන්ද 59 කින් උපාලි කුමාරිසිරි මහතා පරාජයට පත්කරමිනි. එහිදී ලේකම් ධුරයට පත්වූ සුනිමල් රූපසිංහ මහතා මෙවර නිලවරණයට ඉදිරිපත් නොවේ.
දිස්ත්‍රික්, අනුබද්ධ සංගම් හා ක්‍රීඩා සමාජ 39ක නියෝජිතයෝ අද පැවැත්වෙන නිලවරණයට සහභාගි වෙති. එහිදී නිලවරණයට එක් කරගන්නා මුළු ඡන්ද සංඛ්‍යාව 117 කි. ඒ එක් සංගමයකට හෝ ක්‍රීඩා සමාජයකට ඡන්ද තුනක් බැගින් වන පරිදිය. ඒ අනුව අද සභාපති ධුරයට පත්වීමට අපේක්ෂා කරන අපේක්ෂකයෙක් ඒ සඳහා අවම ඡන්ද 59 ක් ලබාගත යුතුව ඇත.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ මහතා “ලංකාදීප”ය කළ විමසුමකදී පැවැසුවේ අද නිලවරණය සඳහා කලින් අනුගමනය කළ පරිදි රහස් ඡන්දය යොදා ගන්නා බවයි. පත්වන නිලධාරී මණ්ඩලයට අදම මලල ක්‍රීඩා සංගමයේ පාලනය භාර දෙන බව ද ඔහු එහිදී වැඩි දුරටත් පැවැසීය.
මලල ක්‍රීඩා සංගමයේ එදා මෙදා තුර මුල් පුටුව හෙබවූ අය අතර නමගිය දේශපාලනඥයෝ කිහිප දෙනෙක්ද වෙති. 1997 දී සභාපති ධුරය දැරූ එවකට ඇමැතිවරයකු ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. 1988 සිට 91 දක්වා සභාපති ධුරයේ කටයුතු කළේ හිටපු ඇමැතිවරයකු වන ලලිත් ඇතුලත්මුදලි මහතාය. වසර 2005 දී සභාපති ධුරය දැරූවේ හිටපු ඇමැතිවරයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය.
ලංකා මලල ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමය ලෙස මුල් අවධියේ හැඳින්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ බිහිවීම 1922 දක්වා ඈතට දිව යයි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අද පැවැත්වෙන 2017-21 නිලවරණයට ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා මෙසේය.
සභාපති ධුරයට: - සුගත් තිලකරත්න (ගම්පහ), මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (ලංකා ලයන්ස්) හා ජී.එල්.එස්. පෙරේරා (ලංකා ලයන්ස්)
ලේකම් ධුරයට:- ප්‍රේමා පින්නවල මහතා (කෑගල්ල - නිතරගයෙන්)
භාණ්ඩාගාරික ධුරයට - ශාන්ත ද සිල්වා මහතා (රාජ්‍ය සේවා - නිතරගයෙන්)
උපලේකම් ධුරයට:- බර්නා පෙරේරා මහතා (කෑගල්ල - නිතරගයෙන්)
උපසභාපති ධුර (7):- අනිල් වීරසිංහ (සී.වී. සහ එෆ්.සී.), ජී.එල්.එස්. පෙරේරා (ලංකා ලයන්ස්), ඒ.එම්. අක්මාල් (ත්‍රිකුණාමලය), එච්.ඩබ්. නිමල්සිරි (කොළඹ), අයිරාංගනී රූපසිංහ (විශ්වවිද්‍යාල), ප්‍රසන්න ඉන්දික (වෙළෙඳ සේවා), ලාල් චන්ද්‍රකුමාර (විශ්වවිද්‍යාල) එන්.ජී. විමලදාස (රාජ්‍ය සේවා) නයන්ති කුමාරි චන්ද්‍රසේන (ට්‍රැක් මාස්ටර්ස්), එස්. ජෙගතිකරන් (මුලතිව්), කර්නල් සුදත් මඩුගල්ලේ (ලාකං ලයන්ස්), උදේනි කාංචනමාලා, (ජනසතු සේවා) හා උපාලි කුමාරසිරි (ශ්‍රී ලක්)
උප භාණ්ඩාගාරික ධුරයට:- ඩබ්. ඒ. උපාලි (ජනසතු සේවා) හා සම්පත් ජයසේන (ගාල්ල)
දත්ත සටහන්කරු:- සමන් කුමාර ගුණවර්ධන මහතා (නිතරගයෙන්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.