Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner වත්තල ලයිසියම් ශූරතාව දිනයි

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව තරග වාර්තා 30ක් බිහිවූ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව සටනකින් තොරව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය.

 දියගම මහින්ද රාජපක්‍ෂ පිටියේදී තෙදිනක් පුරා පැවැති මෙවර ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය අද (27) නිමාවට පත්වූ අතර එහිදී සමස්ත අනුශූරතාව රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට හිමිවිය.

 ගිය වසරේදී පැවති තරගාවලිය වැඩි එක ලකුණකින් පමණක් ජයගත් වත්තල ලයිසියම් ක්‍රීඩකයෝ මෙවර එය දිනා ගත්තේ ලකුණු 1443ක් රැස් කරමින්. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල සමස්ත අනුශූරතාව ලබුවේ ලකුණු 984කටය.

 ලකුණු 774ක් වාර්තා කරමින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීය.

ඊයේ තරගාවලියේ අවසන් දිනයේදී පමණක් නව වාර්තා 16ක් බිහිවීම කැපී පෙනුණි. මෙවර තරගාවලියේදී පැරණි වාර්තාව සම කළ අවස්ථා තුනක් ද සටහන් වී තිබුණි.

අභියෝග ශූරතා කුසලාන 27ක් ප්‍රදානය කෙරුණු මෙවර තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා වූයේ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආසිරි විජේසේකරය. ඒ මීටර් 200 බාලක වයස 19න් පහළ ඉසව්වේදී තත්පර 21.8ක දක්‍ෂතාවයක් වාර්තා කරමිනි. පූර්ණිමා ජයමාලි ගුණරත්න පානදුර ලීඞ්ස් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් උස පැනීම වයස 20න් පහළ බාලිකා ඉසව්වෙන් මීටර් 1.75කට පිහිටුවූ නව තරග වාර්තාව මෙවර ක්‍රීඩා උළෙලේදී ඇයට දක්‍ෂතම ක්‍රීඩිකාව විමට ප්‍රමාණවත් විය.

 අභියෝග ශූරතා වැඩි ගණනක් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල දිනාගැනීමට සමත් විය. දැනට අබලන් තත්ත්වයෙන් පවතින දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී තරගාවලිය සංවිධානය කිරීමේදී එහි තාවකාලික නැරඹුම් ආවරණ ඉදිකිරීම සඳහා පමණක් තරග සංවිධායකයන්ට රුපියල්ට මිලියන 3.5කට ආසන්න වියදමක් දැරීමට සිදුවූ බව වාර්තාවේ.

ඒ අතර තරගාවලිය පැවැත්වෙන දියගම ක්‍රීඩාංගනයේ බෝම්බ තබා ඇති බවට තරග සංවිධායකයන්ට ලැබුණු බව කියන නිර්නාමික දැනුම්දීමක් නිසා මෙවර තරගාවලියට දැඩි  ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණි. ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.