Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ශ්‍රී ලංකා වාර්තා 6 ක් බිහිවෙයි

ශ්‍රී ලංකා වාර්තා 6 ක් බිහිවෙයි

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දියගම “මහින්ද රාජපක්ෂ” ක්‍රීඩාංගණයේදී  අද (9 වැනිදා) නිමාව දුටු ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා හයක්  පිහිටුවනු ලැබිණ. මෙම තරගාවලියේ තවත් විශේෂ සිදුවීමක් වූයේ මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්වීමයි.

එහි ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කී නිමාලි ලියනආරච්චිද එතෙක් පැවැති ඇයගේම ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යමින් දස්කම් දැක්වීමට සමත් වීමත් වූවාය.  

නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න විනාඩි 2:02.55 කට මීටර 800 ඉසව්ව අවසන් කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූයේ යාපනය දොරේඅප්පා පිටියේදී 2016 සැප්තැම්බර් 01 වැනිදා ගුවන් හමුදා ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චි පිහිටුවා තිබූ එහි පැරැණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමිනි. නිමාලි යාපනයේදී මීටර 800 (කාන්තා) ඉසව්වේ වසර 25 ක් පැරැණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීම එදා දැඩි කතාබහකට ලක්වූයේ ඊට කලින් හිමිකම් කී ධම්මිකා මැණිකේ නව ශ්‍රී ලංකා වාර්තාව පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් විරෝධතා දැක්වීම හේතුවෙනි.

ධම්මිකා මැණිකේ කියා සිටියේ තමන් 1992 වසරේ පැවැති බාසිලෝනා ඔලිම්පික් උළෙලේදී විනාඩි 2:03.85 කට පිහිටු වූ මීටර් 800 (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යාපනය දොරේඅප්පා පිටියේ තණකොළ සහිත ධාවන පථයක බිඳ දැමීමේදී ඒ සඳහා යොදාගත් අත් කාලඝනක යන්ත්‍ර කාලයන් පිළිගත නොහැකි බව දක්වමිනි. එම සිදුවීම කෙතෙක් දුරදිග ගියේද යත් ඇය යාපනයේදී පිහිටු වූ නව ශ්‍රී ලංකා වාර්තාව නිල වශයෙන් පිළිගැනීමට එරෙහිව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ද ගොනු කළාය.

කෙසේ වුවත් මීටර 800 (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිළිබඳව අදහස් දැක්වූ ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ, ගයන්තිකාගේ තරග නිමි කාලයන් ගණනය කළේ විද්‍යුත් කාලඝනක යන්ත්‍ර ඇසුරෙන් බැවින් නව වාර්තාව පිළිබඳව කිසිදු ගැටළුවන් පැන නොනගින බවයි.


ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී බිහිවූ නව ශ්‍රී ලංකා වාර්තා

■    මීටර 800 (කාන්තා) -  ගයන්තිකා අබේරත්න (විනාඩි 2 තත්ත්පර 02.55) නිමාලි ලියනආරච්චි (විනාඩි 2 තත්ත්පර 2.57 - පැරණි ශ්‍රී ලංකා වාර්තාව අභිබවාගොස් තිබේ.)
■    රිටි පැනීම (කාන්තා): - ජේ ගනේෂ්වරන් ඇනීතා (මීටර 3.45)
■    මිටිය විසි කිරීම - (කාන්තා) ආර්.කේ.ඒ.ඒ. මධුවන්ති (මීටර 47.93)
■    තුන් පිම්ම (කාන්තා) - විදුෂා ලක්ෂානි (මීටර 13.64)
■    මීටර 300 බාධක (කාන්තා) - නිලුකා රත්නායක (විනාඩි 10 තත්ත්පර 03)
■    දස ප්‍රයාම - මීටර 1500 - අජිත් කුමාර කරුණාතිලක (ලකුණු 6885)

 


අදහස් (0)

ශ්‍රී ලංකා වාර්තා 6 ක් බිහිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.