Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ ‘ජියැන්ෂින්’ නුවරදී ඊයේ (27) රාත්‍රියේ නිමාව දුටු ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරග මාලාවේ අදියර II තරගාවලියේ ශ්‍රී ලංකාවේ දස්කම් රිදී පදක්කමකට සහ ලෝකඩ පදක්කමකට පමණක් සීමා විය. ඊයේ දිනයේ දී පැවැති අදියර II තරගාවලියේදී විශේෂිතම සිදුවීම වූයේ ‘ජින්හුවා’ නුවරදී නිමාව දුටු අදියර I තරගාවලියේ දී මීටර 800 (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත් ඉඳුනිල් හේරත්ගේ පරාජයයි.

කෙසේ වූවත් මීටර 100 (පිරිමි) ඉසව්වේ යළි රිදී පදක්කම හිමිකර ගැනීමට හිමාෂ එෂාන්ට හැකි වූවත් ඊයේ පැවැති දෙවැනි අදියර තරගාවලියේදීත් ඔහුගේ නිමි කාලයේ වර්ධනයක් දක්නට නොලැබුණි.

මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර දීමට නිමාලි ලියනආරච්චි සමත්වීම හැරෙන්නට ඊයේ අදියර II තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් තවදුරටත් කඩා වැටීමකට ලක්විය.

පළමු අදියරේදී රන් පදක්කම්ලාභියෙකු වූ ඉඳුනිල් හේරත් ඊයේ මීටර 800 (පිරිමි) ඉසව්ව විනාඩි 1:50.99 කට නිමා කරමින් සිව්වැනි ස්ථානය දක්වා පහළට වැටෙද්දී කුවේට් ක්‍රීඩක ඊබ්‍රහිම් අල්සෝෆහිරි විනාඩි 1:50.06 කට එම ඉසව්වේ ජයග්‍රහණය ලැබීය. ඊබ්‍රහීම් පළමු අදියරේදී විනාඩි 1:51.23 කට ලෝකඩ පදක්කම හිමිකර ගත් ක්‍රීඩකයායි. එහිදී අවසන් මීටර 30 දී පමණ වේගවත් හඹායාමක් ප්‍රදර්ශනය කරමින් ඔහු විශ්මිත ජයක් ලැබීය.

ලංකාදීපට අදහස් දැක් වූ ඉඳුනිල් හේරත් පැවසුවේ ශීත කාලගුණික තත්ත්වයත් ‘ජියැන්ෂින්’ ක්‍රීඩාංගණයේ කෘතිම ධාවන පථයේ තද ස්වභාවයත් සිය ධාවනයට බලපෑමක් කළ බව ඔහු පැවැසීය.

මගේ ඉලක්කය එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. ඒක හිතාගෙනම මම තරගයට සහභාගි වුණත් මට ඒක අද කරන්න බැරි වුණා. නමුත් මම තෙවැනි අදියර තරගය දිනාගෙන යළි දස්කම් අතරට එන්න චීන-තායිපේහිදී උත්සාහ ගන්නවා යැයි ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ වේගවත්ම කෙටි ධාවන ශූරයා ඊයේ දෙවැනි ගෝන්ප්‍රී රිදී පදක්කම හිමිකර ගත්තේ තත්ත්පර 10.47 කටය. එය පළමු අදියරේදී ඔහු ප්‍රදර්ශනය කළ වේගයට වඩා අඩුවකි. ඒ පිළිබඳව හිමාෂ ‘ලංකාදීප’යට පැවසුවේ සිය උත්සාහයට ජියැන්ෂියන් නුවර පැවැති ශීත කාලගුණික තත්ත්වයත් බලපෑමක් කළ බවය. චීනයේ හොන්ග් මී තත්ත්පර 10.40කට එහි රන් පදක්කම දිනා ගත්තේය. කෙසේ වුවත් වට දෙකකින් සමන්විත මීටර 100 (පිරිමි) තරගයේ පදක්කම්ලාභීන් තෝරා ගත්තේ එයින් වේගවත්ම ක්‍රීඩකයා සැළකිල්ලට ගනිමිනි.

පළමු අදියරේ දී ගයන්තිකා අබේරත්න විනාඩි 2:03.78 කට කාන්තා මීටර 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තත් ඊයේ පැවැති දෙවැනි අදියරේ දී විනාඩි 2:07.51 කට නිමාලි ලියනආරච්චි සතුකර ගත්තාය. පළමු අදියරේදී නිමාලි පස්වැනි ස්ථානය ලැබුවේ විනාඩි 2:08.47 කටය. පළමු අදියරේදීත් රන් පදක්කම දිනාගත් චීන ක්‍රීඩිකා මූන්ග් වූ වෑන්ග් ඊයේ එය තහවුරු කර ගත්තේ විනාඩි 2:03.25 කටය.

දෙවැනි අදියර තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ද අවම මට්ටමකට පත්ව තිබුණි. එහිදී ශ්‍රී ලංකාව ආසියානු ගෝන් ප්‍රී තරග මාලා ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් දිනා තිබෙන මීටර 400 (පිරිමි) ඉසව්වේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක අජිත් ප්‍රේමකුමාර තත්ත්පර 49.53 කට පස්වැනි ස්ථානය ලැබීය.

ඔහු පළමු අදියරේදී පස්වැනි ස්ථානය ලැබුවේ තත්ත්පර 48.71කට ය. සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් රුමේෂිකා රත්නායක (මීටර 100 කාන්තා - තත්ත්පර 11.81) සිව්වැනි ස්ථානය ලබාගත් අතර සුමේධ රණසිංහ -  (හෙල්ල විසිකිරීම මීටර 74.85), වරුණ ලක්‍ෂාන් (හෙල්ල විසිකිරීම - මීටර 73.74), තාරිකා කුමදුමාලි ප්‍රනාන්දු (යගුලිය විසි කිරීම- කාන්තා මීටර 14.58) සහ සංජීව ජයසිංහ (තුන් පිම්ම පිරිමි - මීටර 15.03), පරාජයට පත් වූහ. උස පැනීමේ ක්‍රීඩිකා තරංගා විනෝදනී පළමු පිම්මේ දී අසාර්ථකවීම නිසා (මීටර 1.65), තරගයෙන් ඉවත්වීමට සිදු විය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.