Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner සභාපති තනතුරට බුබ්කාත් තරග බිමේ

සභාපති තනතුරට බුබ්කාත් තරග බිමේ

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික මලල කී‍්‍රඩා පිටියේ සිටි විශිෂ්ටතම රිටි පැනීමේ ශූරයකු වූ යුක්රේනයේ සර්ජි බුබ්කා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර සඳහා ඉදිරිපත් වී සිටී. රිටි පැනීමේ ඉසව්වෙන් 1988 ඔලිම්පික් රන් පදක්කම් ලාභියාද වූ සර්ජි බුබ්කා සමග තරගයට තවත් පස්දෙනෙක් ඉදිරිපත්වී සිටිති.

ජර්මනියේ නීතිඥවරයකු වන තෝමස් බෙක්, පෝටෝ රිකෝ ජාතික බැංකුකරුවකු වන රිචඞ් කැරින්, සිංගප්පූරුවේ ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන සර් මියැන්, ස්විට්සර්ලන්තයේ හිටපු ඔරු පැදීමේ ශුරයකු වන ඩෙනිස් ඔස්වල්ඞ් සහ තායිවානයේ ගෘහ නිර්මාණ ශිල්පියකු මෙන්ම ලෝක ආධුනික බොක්සිං සංගමයේ සභාපතිවරයාද වන සී.කේ. වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුර සඳහා ඉදිරිපත්ව සිටින සෙසු තරගකරුවෝ වෙති.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති ජැක් රොගී මහතා සිය තනතුරෙන් ඉවත්ව යන හෙයින් එහි මීළග සභාපතිවරයා තෝරා ගැනීම සඳහා වන නිලවරණය හෙට (10 වැනිදා) බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැත්වේ.


තෝමස් බෙක්

59 හැවිරිදි තෝමස් බෙක් මහතා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට ඉතාමත් ආසන්නයෙන් සිටින පුද්ගලයා ලෙසින් සැලකේ. 1976 මොන්ටි‍්‍රයල් ඔලිම්පික් උළෙලේදී කඩු සටන් ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් තෝමස් බෙක් 1991 දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට එක්ව එහි උප සභාපති තනතුර දක්වා පැමිණියේය.


සර්ජි බුබ්කා

රිටි පැනීමෙන් ලොව දිනූ බුබ්කා එම ඉසව්වේදී ගෘහස්ථ සහ එළිමහන් ලෝක වාර්තා දෙකටම තවමත් හිමිකම් කියයි. බුබ්කා ලෝක ශූරතා තරගාවලි 6 කදීම රන් පදක්කම් දිනා ඇති නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමටුවේ සභාපති තනතුර සඳහා තවත් බොහෝ සුදුසුකම් සපුරා තිබිය යුතුය.


රිචඞ් කැරින්

ඉතාමත් බුද්ධිමත් බැංකුකරුවකු වන රිචඞ් කැරින් මහතා පරාර්ථකාමියකු වශයෙන් ප‍්‍රකටය. 1990 දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට එක්වූ කැරින් මහතා වසර 2020 දක්වා ඔලිම්පික් තරග විකාශය කිරීමේ ගිවිසුමට ඇමරිකාවේ එන්.බී.සී. ආයතනය එකගකරවා ගැනීමේදී විශාල කාර්යභාරයක් කළ තැනැත්තෙකු වශයෙන් සැලකේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.38 ක් හෙවත් ඩොලර් කෝටි 438 කි.


සර් මියැන්

තානාපතිවරයකු මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයකුද වන 64 හැවිරිදි සර් මියැන් 1998 දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට එක්වූ අතර වසර 2009 සිට උපසභාපතිවරයකු ලෙසින් කටයුතු කරයි. සිංගප්පූරුවේ රුවල් යාත‍්‍රා පැදීමේ ශූරයකු වන සර් මියැන්, මේ වන විට නෝර්වේහි සිංගප්පූරු තානාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි.


ඩෙනිස් ඔස්වල්ඞ්

ඔරු පැදීමේ කී‍්‍රඩාවේ ශූරයකු වූ ඩෙනිස් ඔස්වල්ඞ් 1968 මෙක්සිකෝ නගරයේදී පැවැති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා තිබේ. 1991 දී ඔලිම්පික් පවුලට එක්වූ ඔස්වල්ඞ්, ලෝක ඔරු පැදීමේ සංගමයේ සභාපතිවරයාද වන අතර ඔලිම්පික්  කී‍්‍රඩාවේ වත්මන් ඉසව් සංඛ්‍යාව අඩුකරමින් තවත් කී‍්‍රඩා කිහිපයක් ඊට  එක්කළ යුතු යයි පවසයි.


සී.කේ. වූ

ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට කාන්තා බොක්සිං කී‍්‍රඩාව හඳුන්වා දුන් සී.කේ. අන්තර්ජාතික ආධුනික බොක්සිං සංගමයේ සභාපතිවරයාය. කියුබාවේ සමාජවාදී ප‍්‍රතිපත්ති වෙනස් කරමින් වෘත්තීය බොක්සිං කී‍්‍රඩාවට පිවිසීමට කියුබාව පෙළැඹවූ පුරෝගාමියෙකි. චීනයේ උපත ලද නමුත් සිය දෙමාපියන් සමග තායිවානට සංක‍්‍රමණය වී සිටී.

 


අදහස් (0)

සභාපති තනතුරට බුබ්කාත් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.