Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්

ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 40ක් පැවැති ක‍්‍රීඩා පනත අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය නිසා ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ඉදිරියේදී ප‍්‍රශ්නයක් විය හැකි යයි ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ බී අබේකෝන් මහතාගේ නිල මුද්‍රාව සහිත එම නිවේදනය  මෙසේය.

වසර 40 කට ආසන්න කාලයක් මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය උදෙසා පාර්ලිමේන්තු පනත මඟින් සම්මත කළ 1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනත හා එහි රෙගුලාසි, අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත යවන ලද ලිපියට පිළිතුරු ලබාදීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිව් පුද්ගල කණ්ඩායමක් මේ මස 27 වන දින ජිනීවා බලා පිටත්ව යාමට නියමිතය.

මෙරට ක‍්‍රීඩාව පෝෂණය කිරීම සඳහා රජයේ  මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන මුදල් විගණනය කිරීමේ බලය, පාර්ලිමේන්තුව විසින් රජයේ විගණකාධිපතිවරයා යටතට පත්කර ඇති අතර, ඒ අනුව රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල විගණනය කිරීමේ බලය රජයේ විගණකාධිපතිවරයාට පැවරේ.

මෙරට ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ක‍්‍රීඩා අමාත්‍යංශයට දෙනු ලබන මහජන මුදල් ජාතික ක‍්‍රීඩා සංගම් හා ජාතික ඔලිම්පික් කමිටුවේ ක‍්‍රීඩා සංවර්ධන කටයුතු වෙනුවෙන්  ලබාදෙන බැවින්, එම මහජන මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව වාර්ෂිකව විගණන වාර්තාවක් රජයේ විගණකාධිපතිවරයාට  ලබාදීම සාමාන්‍ය ක‍්‍රියාදාමයකි. එසේ වූවත් ජාතික ඔලිම්පික් කමිටුව එම මහජන මුදල් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාගේ විමසුමට ලක්කිරීම ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ  දේශපාලන බලපෑමක් ලෙස හුවා දක්වමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලිකොට තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව 1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනතෙන් මෙරට ක‍්‍රීඩාව දියුණු කිරීමේ ප‍්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් පවතින ක‍්‍රීඩා සංගම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටද එහි විධායක කමිටු රැස්වීමට සහභාගීවීමේ ප‍්‍රශ්නාර්ථයක් මතු කර ඇති අතර, මෙම කරුණු කාරණා සම්බන්ධව ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දන්වා ඇති බැවින්, ක‍්‍රීඩා පනතේ විධිවිධාන හා මෙරට ක‍්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා රජය අනුගමනය කරන ජාතික වැඩසටහන පිළිබඳව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කිරීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.

වසර 40ක් පමණ මෙරට ක‍්‍රියාත්මක වූ ක‍්‍රීඩා පනතේ විධිවිධාන දේශපාලන බලපෑම් ලෙස හුවා දක්වමින් ජාත්‍යන්තර ඔලිමම්පික් කමිටුවට යවන ලද මෙම ලිපිය හේතුවෙන් මෙරට සමස්ත ක‍්‍රීඩාවේ දියුණුවට දැඩි බලපෑමක් සිදුවී ඇති අතර, ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමයටද එයින් බලපෑමක් සිදුවී ඇති බව  පවසන ක‍්‍රීඩා අමාත්‍යංශය ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම ක‍්‍රියා කලාපය හේතුවෙන් ඔලිම්පික් කමිටුවේ යටතේ පවතින ජාතික ක‍්‍රීඩා සංගම් 24 ක් සඳහා රජය විසින් ලබාදෙන මුදල් පිළිබඳ යම් තීරණයක් ඉදිරියේදී ගැනීමට සිදුවියහැකි බවද ක‍්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.

1967 ක‍්‍රීඩා අමාත්‍යංශය ස්ථාපිත කිරීමෙන් අනතුරුව මෙරට ක‍්‍රීඩාව පෝෂණය කිරිම සදහා ජාතික ක‍්‍රීඩා සංගම් වලට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම හා ක‍්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් සිදු කර ඇති අතර, ජාතික ඔලිම්පික් කමිටුවටද අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ලබාදී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව ස්ථාපිත කර ඇති භූමියද ක‍්‍රීඩා අමාත්‍යංශයට අයත් වන අතර, එම ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා රු. මිලියන 50ක මුදලක්ද ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ලබාදී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙහෙයවනු ලබන ක‍්‍රීඩා ඉසව් නියෝජනය කරමින් විදේශ සංචාර කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන්ට ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදී ඇති අතර, එම මුදල් විගණනය කිරීම සම්බන්ධව වසර 40කට පසු ගැටළුවක් පැන නැගීම පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර මට්ටම නියෝජනය කරන සමස්ත ක‍්‍රීඩකයන් මෙන්ම ක‍්‍රීඩා සංගම්වලද අවධානයට ලක් කළ යුතු බව ක‍්‍රීඩා අමාත්‍යංශය අවධාරණය කරයි.

මේ මස 27 වැනිදා ස්විස්ටර්ලන්තයේ ලූසේන්හී පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විශේෂ හමුව සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, ක‍්‍රීඩා අමාත්‍යංශයේ නීතී උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, ඩයන් ගෝමස්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සහ වෛද්‍ය මයියා ගුණසේකර යන මහත්වරුන් සහභාගී වන බව ක‍්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.
හර්ෂ බී අබේකෝන් - මාධ්‍ය ලේකම්
කී‍්‍රඩා අමාත්‍යංශය


අදහස් (0)

ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.