Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner බැඞ්මින්ටන් කී‍්‍රඩාව ඉවරයි - මහාචාර්ය රංජිත්

බැඞ්මින්ටන් කී‍්‍රඩාව ඉවරයි - මහාචාර්ය රංජිත්

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමයේ පරිපාලනයේ ඇතිවී තිබෙන අර්බුදය ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ නීති රෙගුලාසිවලට ගැලපෙන අයුරින් නොවිසඳුණහොත් වැඩි කලක් ගතවීමට පෙර ශ‍්‍රී ලංකාවට ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ සාමාජිකත්වයද අහිමිවී යනු ඇති බව කොළඹ ඔටර්ස් ක‍්‍රීඩා සමාජයේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා පැවසීය.

බැඞ්මින්ටන් සංගමයේ වත්මන් සභාපතිවරයාගේ අදුරදර්ශී කි‍්‍රයා කලාපය නිසා මේ වන විට ජාත්‍යන්තර තරගාවලිවල පළමු වටයෙන්ම ඉවතට විසිවන මට්ටමකට ශ‍්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාව පත්ව ඇති බවද එහිදී ඔහු කියා සිටියේය.

”බැඞ්මින්ටන් සංගමයේ වත්මන් නිලධාරීන්, බැඞ්මින්ටන් සංගමයේ පාලනය භාරගනිද්දී කිව්වේ ශ්‍රී ලංකාව බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් ලෝකයේ හිනිපෙත්තටම ගෙනියනවා කියලයි. ඒත් ලෝක ශේ‍්‍රණිගත කිරීමේ 26, 27 වගේ ස්ථානවල හිටපු ශ්‍රී ලංකාව මේ වෙද්දී 42 දක්වා පහළට වැටිලා” ලෝක බැඞ්මින්ටන් පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු වන රංජිත් ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය.
 
”ශ්‍රී ලංකාව ශේ‍ණිගත කිරීම්වල මේ මට්ටමේ හරි රැදිලා ඉන්නේ නිලූක කරුණාරත්නයි,  දිනූක කරුණාරත්නයි හින්දා. පසුගිය සතියේ ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහභාගී වුණ කණ්ඩායමත් ආපසු ලංකාවට අවේ පළමු වටයේදී මුහුණ දීපු සියලූම තරග පරාද වෙලා. නමුත් 2009 වසරේදී පදක්කම් දිනන මට්ටමක අපි හිටියා.” යැයිද මහාචාර්යවරයා පැවසීය.

මෙහිදී ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ව්‍යවස්ථාවේ නිතී රෙගුලාසි පිළිබඳව සඳහන් කළ මහාචාර්යවරයා, ”බැඞ්මින්ටන් ව්‍යවස්ථාවේ හැටියට  ඕනෑම කෙනෙකුට නිලවරණයට ඉදිරිපත්වෙන්න පුළුවන්. එත් සභාපති හෝ ලේකම් තනතුරේ නොකඩවා දෙවතාවක් කටයුතු කර තිබෙනවා නම් පමණක් ඔහුට නැවතත් එම තනතුරට තරග කරන්න හැකි වන්නේ අවම වශයෙන් වසරක්වත් එම තනතුරුවලින් ඉවත්ව සිටීමෙන් පසුවයි.” යැයි පැවසීය.

එසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ව්‍යවස්ථාවේ සහ ක‍්‍රීඩා පනතේ නීතිරීති උල්ලංඝණය කරමින් වත්මන් සභාපතිවරයා නැවත වරක් නිලවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවත්, ඊට විරෝධය දක්වමින් සහ වැඩිදුරටත් ඒ පිළිබඳව දැනුවත් කරමින් කී‍්‍රඩා අමාත්‍යවරයාට සහ කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි යොමුකළ බවත් රංජිත් ද සිල්වා කීය.

යම් හෙයකින් ලෝක බැඞ්මින්ටන් සංගමයේ නීති රෙගුලාසිවලට අනුව නිලවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් ලෝක සංගමය ශ‍්‍රී ලංකාවේ සාමාජිකත්වය අහෝසි කිරීමට පවා ඉඩ ඇති බවද ඔහු අවධාරණය කළේය.

තමන් කී‍්‍රඩා කර තිබුණත් දේශපාලනය කර නොමැති බවත්, ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් සිදුවන අයථා සිදුවීම් සම්බන්ධයෙන් විටින් විට ක‍්‍රීඩා පරිපාලකයන් දැනුවත් කළද ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමු නොකළ බවත්, පැවසූ මහාචාර්යවරයා අවසාන වශයෙන් කියා සිටියේ මෙවැනි සිදුවීම් නිසා දිනෙන් දින ශ්‍රී ලංකාවේ බැඞ්මින්ටන් කී‍්‍රඩාව වල පල්ලට යන බවයි.

ඡායාරූප - ශානුක අරවින්ද

- 036


අදහස් (0)

බැඞ්මින්ටන් කී‍්‍රඩාව ඉවරයි - මහාචාර්ය රංජිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.