Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව badminton_inner නිලුක - තිළිණි කේවල ශුරතා රැකගනිති

නිලුක - තිළිණි කේවල ශුරතා රැකගනිති

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පිට පිටම 16 වැනි වරටත් ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගනිමින් සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැකගැනීමට නිලූක කරුණාරත්න සමත් විය. අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සිය බාල සොහොයුරු චාමික කරුණාරත්න පරාජය කරමින් නිලූක මෙවර පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීවේය.

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ඉකුත් ඊයේ (29 වැනිදා) බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස දිනූක කරුණාරත්න පරාජය කරමින් චාමික කරුණාරත්න විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නිලූක කරුණාරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-0 ක් ලෙස සචින් ඩයස් පරාජය කරමිනි.

තරගාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට තිළිණි හෙන්ඳහේවා සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස කාවින්දි ඉෂාදිකා පරාජය කරමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය. තිළිණි විවෘත කාන්තා කේවල ශූරතාව පිට පිටම දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.  

අවසන් පූර්ව වටයේදී වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි පරාජය කරමින් තිළිණි හෙන්ඳහේවා විවෘත කාන්තා කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර කාවින්දි ඉෂාදිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ වට 2-0 ක් ලෙස ඩිල්මි ඩයස් පරාජය කරමිනි.

තරගාවලියේ වඩාත් තියුණු අවසන් මහ තරගය බවට පත්වූ විවෘත පිරිමි යුගළ තරගයේදී නිලූක සහ දිනූක කරුණාරත්න සොහොයුරන්ට එරෙහිව බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් තරග වැදුණ අතර වට 2-1 ක් ලෙස එම තරගයේ ජය බුවනෙක සහ සචින් සතුවිය.

කේවල කාන්තා අවසන් තරගයේදී සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූ කාවින්දි ඉෂාදිකා සමග එක්ව විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගැනිමට තිළිණි හෙන්ඳහේවා සමත් වූවාය. යුගළ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ඔවුන් දෙදෙනා හමුවේ හිටපු කාන්තා යුගළ ජාතික ශූරියන් වූ අචිනි රත්නසිරි සහ උපුලු සමන්තිකා පරාජයට පත් වූහ.
 
වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ ප්‍රවීණ ක්‍රීඩිකා රේණු චන්ද්‍රිකා පරාජය කරමින් විවෘත මිශ්‍ර යුගළ ශූරතාවද තමන් සතුකරගැනීමට බුවනෙක ගුණතිලක සහ කාවින්දි ඉෂාදිකා සමත් වූහ.
 
ඒ අනුව මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට තිළිණි හෙන්ඳහේවා (කාන්තා කේවල සහ කාන්තා යුගළ), කාවින්දි ඉෂාදිකා (කාන්තා යුගළ සහ මිශ්‍ර යුගළ) සහ බුවනෙක ගුණතිලක (පිරිමි යුගළ සහ මිශ්‍ර යුගළ) සමත් වූහ.


විවෘත පිරිමි කේවල
නිලූක කරුණාරත්න විසින් වට 2-0 ක් ලෙස චාමික කරුණාරත්න පරාජය කරන ලදි. (21/14, 21/10)

විවෘත පිරිමි යුගළ
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ දිනූක කරුණාරත්න පරාජය කරන ලදහ. (21/15, 23/25, 21/19)

විවෘත කාන්තා කේවල
තිළිණි හෙන්ඳහේවා විසින් වට 2-0 ක් ලෙස කාවින්දි ඉෂාදිකා පරාජය කරන ලදි. (21/14, 21/15)

විවෘත කාන්තා යුගළ
තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා විසින් වට 2-0 ක් ලෙස අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා පරාජය කරන ලදහ. (21/17, 28/26)

විවෘත මිශ්‍ර යුගළ
බුවනෙක ගුණතිලක සහ කාවින්දි ඉෂාදිකා විසින් වට 2-1 ක් ලෙස නිලූක කරුණාරත්න සහ රේණු චන්ද්‍රිකා පරාජය කරන ලදහ. (21/12, 18/21, 21/19)

 

විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගත් නිලූක කරුණාරත්න

විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගත් තිළිණි හෙන්ඳහේවා

විවෘත පිරිමි යුගළ ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස්

විවෘත කාන්තා යුගළ ශූරතාව දිනාගත් තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි ඉෂාදිකා

විවෘත මිශ්‍ර යුගළ ශූරතාව දිනාගත් බුවනෙක ගුණතිලක සහ කාවින්දි ඉෂාදිකා
(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (1)

නිලුක - තිළිණි කේවල ශුරතා රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.