Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටෙස්ට් තරගයක් දින්නොත් ක්‍රීඩකයකුට රුපියල් ලක්‍ෂ 45 ක්

ටෙස්ට් තරගයක් දින්නොත් ක්‍රීඩකයකුට රුපියල් ලක්‍ෂ 45 ක්

editorial - 2024 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ගිවිසුම් ගතවන ක්‍රීඩකයන්ගේ තරග ගාස්තු වැඩි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. නවතම වාර්ෂික ගිවිසුම අනුව ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන්නේ නම්, දැනට ටෙස්ට් තරගයක් සඳහා ගෙවනු ලබන මුදල දෙගුණයකින් වැඩිකරගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන ටෙස්ට් තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයකුට හිමිවන තරග මුදල රුපියල් ලක්‍ෂ 45 ඉක්මවයි. 

එක්දින තරගයක් සඳහා වන ඩොලර් 4000 ක තරග මුදල මෙන්ම විස්සයි-20 අන්තර්ජාතික තරගයක් සඳහා වන ඩොලර් 3000 ක තරග මුදලද 25්‍ර කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එක්දින තරගයක් වෙනුවෙන් තරග මුදල ඩොලර් 5000 ක් (රුපියල් ලක්‍ෂ 15 ක්) වන අතර විස්සයි-20 තරගයක් වෙනුවෙන් තරග මුදල ඩොලර් 3750 කි (රුපියල් ලක්‍ෂ 11 ක්). 

විනිමය අනුපාත අනුව, ක්‍රීඩකයකුගේ තරග මුදල හෙවත් රුපියල් ලක්‍ෂ 45 ක් යනු, වත්මන් ශ්‍රී ලාංකීය ආර්ථික දේහයේ දැවැන්ත කොටසකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දින 5 ක් වෙනුවෙන් වැය කරන මුදලින් සොච්චමක් පමණි. 

ටෙස්ට් තරගයක් වෙනුවෙන් මේ දක්වා ක්‍රීඩකයකුට ගෙවනු ලැබූ ගාස්තුව ඇමරිකානු ඩොලර් 7,500 කි. ටෙස්ට් ක්‍රීඩකයන් සඳහා වන තරග මුදල ඩොලර් 10,000 ක් දක්වා ඉහළ දමා ඇති අතර ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කරන අවස්ථාවකදී එය ඩොලර් 15,000 ක් දක්වාත්, තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවන අවස්ථාවකදී ඩොලර් 12,500 දක්වාත් ඉහළ යනු ඇත. ටෙස්ට් තරගය පරාජය වූයේ නම් තරග මුදල ඩොලර් 10,000 ක සීමාවේ නතර වෙයි.

මෙම මුදල ක්‍රීඩකයන්ට වාර්ෂිකව ගෙවනු ලබන කොන්ත්‍රාත් ගිවිසුම් මුදලට අමතර වශයෙනි. 

හතු පිපෙන්නාක් මෙන් ලෝකයේ තැනින් තැන පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තරුණ ක්‍රීඩකයෝ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාව අතහැර යමින් සිටිති. ටෙස්ට් තරග මුදල් වැඩිකර ඇත්තේ ක්‍රීඩකයන් වැඩි වැඩියෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමුකර ගැනීමේ අටියෙනි.

මෙම වසර තුළදී ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් තරග 7 ක් ඉතිරිව තිබේ. 

ඩොලර් 15,000 ක් යනු වත්මන් විනිමය අනුපාතය අනුව රුපියල් ලක්‍ෂ 45 ක් ඉක්මවන මුදලකි. එහෙත් මෙම මුදල උපයාගැනීමට ක්‍රීඩකයකු වසර ගණනාවක් පුරා අතිශය වෙහෙසකර ක්‍රියාදාමයක නිරතවිය යුතුවන අතරම බොහෝ අවස්ථාවන්හිදී තමන්ට රිසි දේ කිරීම අතහැර දමමින් ඇදහිය නොහැකි තරමේ කැපකිරීම් ද කළයුතුව තිබේ. 

යම් හෙයකින් තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් 3-0 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුවහොත්, ඒ තරග තුනටම ක්‍රීඩාකළ ක්‍රීඩකයකුට හිමි තරග මුදල පමණක් රුපියල් එක් කෝටි තිස්හය ලක්‍ෂය (1,36,35,000) ඉක්මවනු ඇත. එවන් අවස්ථාවකදී ක්‍රීඩකයන් 11 දෙනාට මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සේවා සපයන්නන්ට කළ යුතු ගෙවීම් සහ තරු 5 හෝටල සඳහාත් ‘ශ්‍රී ලංකා  ක්‍රිකට්’ ආයතනය මුදල් ගෙවනු ලබන්නේ මිලියන ගණනිනි. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම් අතරේ ක්‍රීඩකයන් ඉහළ යන විටත් ඔවුන්ගේ ගෙවීම් වැඩි කෙරෙනු ඇත. කිසියම් ක්‍රීඩකයකු අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ට පැමිණි විටෙක ඔහුට විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමෙනු ඇත. ඒ අන්තර්ජාතික තරග වලදී ඔවුන්ගේ දස්කම් අගය කිරීමක් ලෙසිනි. 

පසුගිය වසරේදී පැවැති වාර්ෂික ගිවිසුමට ක්‍රීඩයන් 29 දෙනකු ඇතුළත්ව සිටි නමුත් මේ වසරේදී එය ක්‍රීඩකයන් 41 දෙනකු දක්වා වැඩිකර තිබේ. 

වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම කාණ්ඩ 7 කින් සමන්විතය. ඒ-1, ඒ-2, බී-1, බී-2, සී-1, සී-2 සහ ශ්‍රී ලංකා ‘ඒ’ යනුවෙන් මෙම කාණ්ඩ වර්ගීකරණය කර තිබේ. වාර්ෂික ගිවිසුම් වලදී එක් එක් කාණ්ඩවල ක්‍රීඩකයකු ‘රඳවාගැනීමේ වටිනාකම්’ වර්ෂයක් සඳහා ඩොලර් 100,000 සිට ඩොලර් 35,000 දක්වා වෙනස් වෙයි. ක්‍රීඩකයන් එක් එක් කාණ්ඩවලට ඇතුළත් කරනු ලබන්නේ ඔවුන්ගේ දස්කම් අනුවය.

භානුක රාජපක්‍ෂ, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක සහ ලක්‍ෂාන් සඳකැන් යන හය දෙනාටම මෙවර වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වී තිබේ. එහෙත් අලුතෙන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම ඊට ඇතුළත්ව සිටිති. 


වර්ෂික ගිවිසුමට ඇතුළත්වන ක්‍රීඩකයන් 41 දෙනා
දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිස්සංක, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, නිශාන් මධුෂ්ක, මතීෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රමෝද් මධුෂාන්, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් තුෂාර, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුෂාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙණිය, බිනුර ප්‍රනාන්දු, ෂෙවොන් ඩැනියෙල්, නිරෝෂන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, ඕෂධ ප්‍රනාන්දු සහ අවිශ්ක ප්‍රනාන්දු


අදහස් (0)

ටෙස්ට් තරගයක් දින්නොත් ක්‍රීඩකයකුට රුපියල් ලක්‍ෂ 45 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.