Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තීක්ෂණගේ සහභාගීත්වය වැට උඩ
ආසියානු කුසලාන 2023

තීක්ෂණගේ සහභාගීත්වය වැට උඩ

editorial - 2023 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දෙළොස් වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකාව, 7 වැනි වරටත් එහි ශූරතාව දිනාගැනීමේ අරමුණින් අනිද්දා (17 වැනිදා) පස්වරු 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

කෙසේ වුවත් සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී කළවේ ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට සහභාගිවීම තරමක් සැක සහිත බව වාර්තා වේ.
අද දිනයේදී (15 වැනිදා) ඔහු ස්කෑන් පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටි අතර එහි ප්‍රතිඵලය අනුව අවසන් මහ තරගය සඳහා ඔහුගේ සහභාගීත්වය තීරණය කෙරෙනු ඇතැයි කණ්ඩායමේ කලමණාකාරීත්වය සඳහන් කළේය. ඒ අනුව අද පස්වරුව වන තෙක්ම ඔහුගේ සහභාගීත්වය අවිනිෂ්චිත තත්වයක පැවැතිණ.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග 5 කට ක්‍රීඩා කළ තීක්ෂණ, එහිදී කඩුලු 8 ක් දවාගැනීමට සමත් වූයේ 29.12 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. යම් හෙයකින් තීක්ෂණ අවසන් මහ තරගයට ක්‍රීඩා නොකළහොත් ඔහුගේ ස්ථානය සංචිතයේ සිටින එකම පා දඟ පන්දු යවන්නා වන දුෂාන් හේමන්තට හිමිවීමට වැඩි ඉඩක් ඇත.

තීක්ෂණ හැරුණුකොට සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනාම යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන අතර පාකිස්තානයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අවසන් මහ තරගයටද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. සුපිරි 4 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව අවසන් තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මින් පෙර ක්‍රීඩා කළ අවසන් මහ තරග 11 දී 6 වරක් ශූරතාව දිනාගෙන ඇති ශ්‍රී ලංකාව, සෙසු අවස්ථා 5 දී අනු ශූරතාවට හිමිකම් කීවේය. ශූරතා 7 ක් දිනාගෙන සිටින ඉන්දියාව එම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින අතර මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ඔවුන්ට ඉන්දියාව සම කිරීමේ අවස්ථාවද පවතී.
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහ තරග 7 ක් පැවැත්වී ඇති අතර ඉන් අවස්ථා 4 කදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඉන්දියාවද, සෙසු අවස්ථා 3 දී ඉන්දීයාව පරාජය කිරීමට ශ්‍රී ලංකාවද සමත් විය. ඉකුත් වසරේ (2022) පැවැති ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ පාකිස්තානය පරාජය කරමිනි. එහිදී ඉන්දියාවට අවසන් මහ තරගයට පිවිසීමට නොහැකි විය.

මෙවර තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 ක මුදලක් පිරිනැමෙන අතර එය ශ්‍රී ලංකා රුපියල් හය කෝටි පනස් ලක්ෂයකට ආසන්න වේ. අනු ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පිරිනැමෙන අතර එය ශ්‍රී ලංකා රුපියල් තුන් කෝටි විසි ලක්ෂය ඉක්මවනු ඇත.

අවසන් මහ තරග සඳහා අතිරේක දිනයක් යොදා ඇති බැවින් යම් හෙයකින් මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් එය නතර කරන තැන සිට යළිත් සඳුදා දිනයේදී (18 වැනිදා) පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.


අදහස් (0)

තීක්ෂණගේ සහභාගීත්වය වැට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.