Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීමේ අපේක්‍ෂාව
එක්දින තරගාවලිය

ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීමේ අපේක්‍ෂාව

editorial - 2024 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැලේ සිට...)

නවතම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 10 වැනි ස්ථානයේ සිටී. මෙම කණ්ඩායම් දෙකින් එකක් වත්, පසුගිය වසර කිහිපය තුළ එක්දින තරග රටාවන්හි ස්ථාවර දස්කම් දැක්වූයේ නැත. ශ්‍රේණිගත කිරීම්වල පහත වැටීමට හේතුව එයයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද ඉවත් කරනු ලැබිණ.
 
ඉන්දියාවට එරෙහි පැවැති අවසන් එක්දින තරගාවලිය ජය ගත් නමුත්, ශ්‍රී ලංකා නායක චරිත් අසලංක එක්දින තරග රටාවේ දස්කම් වැඩි දියුණු කර ගැනීම කෙරෙහි දැඩි අවධානයෙන් පසුවෙයි. ඔහුගේ ඉලක්කය ඉක්මනින්ම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු තිදෙනා අතරට පැමිණීමයි.

“ශ්‍රේණිගත කිරීම් වැදගත්... හොඳ ශ්‍රේණිගත කිරීම්වල සිටීමට නම් අපි නිරන්තරයෙන්ම ජයග්‍රහණය කළ යුතුයි”

“ශ්‍රේණිගත කිරීම් අතරේ පහළට වැටෙනවා කියන්නේ අපි නිරන්තරයෙන් හොඳින් ක්‍රීඩා කරලා නැහැ කියන එකයි. ඒත් දැන් අපිට ඉලක්කයක් තියෙනවා.... අපි පළමු තුන්දෙනා ඇතුළට එන්න ඕන. ඒත් ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමේ.  ඒකට ටිකක් කල් යනවා” යයි චරිත් අසලංක අද (19 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මාධ්‍ය හමුවේ පැවසීය.

“ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉහළින් ඉන්නවා නම් ගෝලීය තරඟාවලිවලදීත් හොඳින් දස්කම් දැක්වීමට පුළුවන්” යයි ද නායකයා පැවසීය. 

මෙම ප්‍රයත්නයේදී, අසලංක උත්සාහ කරන්නේ ක්‍රීඩකයන්ගේ කාමරය තුළ හොඳ පරිසරයක් නිර්මාණය කිරීමටය. එවිට හැකි තරම් ද්විපාර්ශ්වික තරඟාවලි දිනාගනිමින් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළ යාමේ අවස්ථාව තිබේ. 

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය හෙට (20 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම දිවා රාත්‍රී තරගය පස්වරු 2.30 ට ආරම්භ වන අතර ශ්‍රී ලංකාව ඔවුන්ගේ දඟ පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා තිබේ. 

“අපි අපේ ශක්තියෙන් තරග දිනන්නේ කොහොමද කියලත් බලන්න වෙනවා. මොකද අපි වෙන රටවලට ගියාම එයාලා සකස් කරන තණතීරු මත ක්‍රීඩා කරන්නයි අපට වෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරනකොට අපේ ශක්තිය ප්‍රයෝජනයට ගන්න එක සාමාන්‍ය දෙයක්”

“දඹුල්ලේදී තරඟාවලිය ජයග්‍රහණය කිරීම අපට හොඳ මානසික ශක්තියක්. ජයග්‍රාහී හැඟීමක් අත්‍යවශ්‍යයි. අනෙක වඩාත් වැදගත් දේ වෙන්නේ අපි (විස්සයි-20) තරඟාවලියේ පසුපසින් ඉඳලා ඇවිදින් තරගාවලිය දිනාගැනීමයි” යයි අසලංක පැවසීය.

කණ්ඩායම තේරීම තවදුරටත් හිසරදයක් නොවේ. ක්‍රීඩකයින් 14 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කණ්ඩායමේ තම තමන්ගේ ස්ථාන තහවුරු කරගෙන සිටිති. අවසන් මොහොතේදී අවශ්‍ය වන්නේ තරඟය පැවැත්වෙන තණතීරුව අනුව වෙනස්කම් කිහිපයක් කිරීම පමණි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අනුපිළිවෙල බොහෝ දුරට ස්ථාවර බැවින් ප්‍රශ්නය ඇත්තේ දඟපන්දු යවන්නන් කවුරුන්ද යන්න පිළිබඳවය.

වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර්සේ දඟ පන්දු යවන්නන් සිව්දෙනාය. කමිඳු මෙන්ඩිස්ට මෙන්ම නායකයාටත් දග පන්දු යැවිය හැකි කණ්ඩායමක ස්ථාන තුනක් සඳහා දඟ පන්දු යවන්නෝ සිව් දෙනෙක් තරග වදිති. එහෙත්, වත්මන් තත්ත්වය තුළ කමිඳු මෙන්ඩිස්ගේ ස්ථානය තරමක් අපහැදිළිව පෙනේ. මක්නිසාද යත් කමිඳු මෙන්ඩිස් ගැන තේරීම් කමිටුව අවසන් තීරණයක් ගෙන නැති බැවිනි. 

“මේ මොහොතේ තියෙන හැටියට වැන්ඩසේ සහ වනිඳු දෙන්නම හෙට ක්‍රීඩා කරයි. මොකද ජෙෆ්රි සහ වනිඳු අපිට ඉන්න අංක 1 සහ 2 පන්දු යවන්නන් දෙන්නා. 
වෙල්ලාලගේත් ඉන්නවා තමයි. නමුත් අපට තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වෙල්ලාලගේ සහ වනිඳු යොදා ගත හැකියි” යයි නායකයා තහවුරු කළේය.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායමේ සිටින නමුත් චමිඳු වික්‍රමසිංහ අභිබවා ඉදිරියට යාමට ජනිත් ලියනගේට අවස්ථාව තිබේ. ලියනගේ තරග 12කදී ලකුණු 386 ක් රැස්කරමින් එක්දින පිතිකරු ලයිස්තුවේ මැදපෙළ (අංක හයවැනි ස්ථානයේ) ස්ථානය තහවුරු කරගෙන ඇත්තේ එක්දින ඉනිමක් සඳහා ලකුණු 48.25 සාමාන්‍යයක් රඳවා ගනිමිනි. තුන් ඉරියව් ක්‍රීඩකයා කවුරුන් වූවද, නායකයාට ඔහුගෙන් ඕවර 10 ක් අවශ්‍ය වේ. එවැනි දායකත්වයක් ලැබෙන්නේ නම්, තරගය පැවැත්වෙන තණතීරුව අනුව කණ්ඩායම සීරුමාරු කිරීමට නායකයාට මෙන්ම තේරීම් කමිටුවටද අමතර අවස්ථාවක් ලැබේ.

පැතුම් නිශ්ශංක දඹුල්ලේදී පැවැති විස්සයි20 තරගයේදී තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේ පාදයේ කලව මස්පිඬුවේ සුළු ආබාධයක් තිබියදීය. එහෙත් එක්දින තරඟාවලියේ වඩාත් හොඳ දස්කම් දැක්වීම ආරම්භක පිතිකරුවාගේ අරමුණයි. නිස්සංක අද දහවල් පල්කැලේ ක්‍රීඩාංගණයේ දී වට ගණනාවක්ම ඇවිදිමින් සිටියේ කණ්ඩායමේ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකාද අසළින් තබාගනිමිනි. නැවතත් සුපුරුදු ශාරීරික යෝග්‍යතාව ලබාගැනීමට ඔහුගේ අරමුණ වී තිබිණ. 

වසර 49ක් පැරණි ශ්‍රී ලංකාවේ එක්දින තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම ද්විත්ව ශතකය ලබාගත් පිතිකරුවා වන්නේ පැතුම් නිශ්ශංකයි. නිශ්ශංක පසුගිය පෙබරවාරියේ පල්ලකැලේ පිටියේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 210ක් රැස් කළේය.

එක්දින තරගාවලියේදී ද දඟපන්දුව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව බටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක ෂායි හෝප් හොඳින්ම දනී. එම භියෝගයට මුහුණ දීමට ඔහු හොඳින් සූදානම් වෙමින් සිටින සෙයකි. 

“ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම විටම, ඒ තරගාවලියේදී දඟ පන්දුව සුවිශේෂී භූමිකාවක් ඉටු කරනු ඇතැයි යන අපේක්‍ෂාව සාමාන්‍ය දෙයක්. සිදුවන්නට යන දේ ගැන ඕනෑවට වඩා කලින් තීරණය කරලා ශ්‍රී ලංකාවත් එක්ක තරග කරන්න බෑ” 

“අපි බලමු තණතීරුවෙන් ලැබෙන දේ මොකක්ද කියලා... ඒ ගැනත් අදහසක් තිබීම වැදගත්. නමුත් අවසානයේදී ලැබෙන්නේ ඔබ ක්‍රීඩා කරන දේම තමයි. ඒ හින්දා අපි ඕනෑම තත්ත්වයකට අනුගතවෙලා ක්‍රීඩා කිරීමට වග බලා ගන්න ඕනා” යයිබටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක ෂායි හෝප් මාධ්‍ය වෙත පැවසීය.

දශක කිහිපයකට ඉහතදී ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය භයංකාර බලවේගයක් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නැවතත් ඔවුන්ගේ පැරණි කීර්තිය කරා  යා හැකි බවට විශ්වාසයක් ශායි හෝප්ට ඇත.

“සමහර වෙලාවට දේවල් සිදුවන්නේ එහෙම තමා. හැම තරගයක්ම දිනන්න බෑ”
“ඒත් අපි ලෝකයේ ඉහළම කණ්ඩායම් වලින් එකක් විය යුතුයි. ඒ සඳහා අපි කණ්ඩායමක් ලෙස ස්ථාවර විය යුතුයි. අපි සූදානම් වීමේදී වගේම පිට්ටනියට යන විටත් මීටවඩා නිර්දය විය යුතුයි” හෝප් පැවසුවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තබාගනිමිනි. 

විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකාව පමණක් තරග දිනයට පෙර ක්‍රීඩා කරන 11 දෙනා ප්‍රකාශයට පත් කළද බටහිර ඉන්දීය කොදෙව්වෝ එසේ නොකළහ. එසේම, බටහිර ඉන්දීය කොදෙව් නායකයා පැවසුවේ හෙට (ඉරිදා) තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනාත් ප්‍රකාශයට පත් නොකරන බවයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමද හෙට තරගය සඳහා ක්‍රීඩා කරන 11 දෙනා රහසක් ලෙස තබාගෙන සිටී. 


ශ්‍රී ලංකා එක්දින සංචිතය 
චරිත් අසලංක (නායකයා), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක සහ මොහොමඩ් ෂිරාස්

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය:
ෂායි හෝප් (නායක), අල්සාරි ජෝසප් (උප නායක), ජුවෙල් ඇන්ඩෲ, ඇලික් අතන්සේ, කේසි කාර්ටි, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ෂමාර් ජෝශප්, බ්‍රෙන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩාකේෂ් මෝති, ෂර්ෆේන් රදර්ෆර්ඩ්, ජේඩන් සීල්ස්, රොමාරියෝ ෂෙපර්ඩ් සහ හේඩන් වෝල්ෂ් (කනිෂ්ඨ)

විනිසුරුවරු 
අසීෆ් යාකූබ් (පාකිස්තානය) සහ රවීන්ද්‍ර විමලසිරි (ශ්‍රී ලංකාව)

රූපවාහිනී විනිසුරු 
හසන් රාසා (පකිස්ථානය)

තරග තීරක 
රන්ජන් මඩුගල්ල (ශ්‍රී ලංකාව)


අදහස් (0)

ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීමේ අපේක්‍ෂාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.