Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන සිහිනය ඇරඹේ
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන

ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන සිහිනය ඇරඹේ

editorial - 2024 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

වත්මන් ආසියානු ශූරියන් මෙන්ම, ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියන්ද වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අතරින් වඩාත් පෙරළිකාරම කණ්ඩායම ලෙස නම් කළ හැකිය. 

පසුගිය කාල වකවානුව තුළ ප්‍රබල කණ්ඩායම්වලට අමිහිරි පරාජයන් අත්කර දෙමින් ඔවුන් ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණය ඊට කදිම නිදසුන් සපයයි. එහෙත් මෙවර තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේද සුලුපටු කණ්ඩායම් නොවේ. 

පාකිස්තානය, ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ නවසීලන්තය යන රටවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට මූලික වටයේදී තරග බිමට පිවිසීමට සිදුව ඇති අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් එහිදී තරග 3 ක් ජයගත යුතුව තිබේ. 

යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටයේදී තරග 2 ක් ජයගෙන සෙසු තරග 2 පරාජයට පත්වුවහොත් ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඔවුන්ට සෙසු කණ්ඩායම් දිනන පරදින ආකාරය දෙස බලා සිටීමට සිදුවනු ඇත. 

පසුගිය දෙවසර ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විජයග්‍රාහී වසර 2 ක් ලෙස හැඳින්විය හැකි අතර එම කාල වකවානුව තුළ බංග්ලාදේශයට එරෙහිව 2-1 ක් ලෙසද, නවසීලන්තයට එරෙහිව 2-1 ක් ලෙසද, එංගලන්තයට එරෙහිව 2-1 ක් ලෙසද, දකුණු අප්‍රිකාවට එරෙහිව 2-1 ක් ලෙසද විස්සයි-20 ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

ඉන් අනතුරුව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන දිනාගත්තේද සිය අපරාජිත බව රැක ගනිමිනි. 

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙරාතුව පැමිණි පෙරහුරු තරග දෙකේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 33 ක ජයක්ද, ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක්ද ලබා සිටින ශ්‍රී ලංකාව,  ඉතා ඉහළ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරගාවලියට පිවිසෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. 

තරග ජය ගැනීම සඳහා දිගින් දිගටම චමරි අතපත්තුගේ පිතිහරඹය මත බලාපොරොත්තු රඳවා සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මේ වන විට චමරි වේලාසනින් දැවී ගියද, තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි දක්ෂ තරුණ පිතිකාරිණියෝ කිහිප දෙනෙකුම සිටිති. 

ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න, ඉදිරි පෙළ පිතිකාරිණී හර්ෂිතා සරමවික්‍රම සහ මැද පෙළ පිතිකාරිණි කවීෂා දිල්හාරි ඒ අතර ඉදිරියෙන්ම සිටිති. විස්සයි-20 පන්දු යවන්නියෙන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන ඉනෝෂි ප්‍රියදර්ශනී සහ විස්සයි-20 කඩුලු 100 පෙනෙන මානයේ සිටින ඉනෝකා රණවීර ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළෑණිය සවිමත් කරති. 

‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටින කණ්ඩායම් අතරින් ඕස්ටේ්‍රලියාව හැර සෙසු කණ්ඩායම් 3 ම ශ්‍රී ලංකාව හමුවේ අවස්ථා කිහිපයකදීම පරාජයට පත්ව ඇති බැවින් වැරදි අඩුපාඩු අවම කරගනිමින් තරග වදින්නේ නම් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත. 

මූලික වටයේදී ශ්‍රී ලංකාව තරග වදින තරග 

  • ඔක්තෝබර් 3 වැනිදා - පාකිස්තානයට එරෙහිව සාජාහිදී 
  • ඔක්තෝබර් 5 වැනිදා - ඕසටේ්‍රලියාවට එරෙහිව සාජාහිදී 
  • ඔක්තෝබර් 9 වැනිදා - ඉන්දියාවට එරෙහිව ඩුබායිහිදී 
  • ඔක්තෝබර් 12 වැනිදා - නවසීලන්තයට එරෙහිව සාජාහිදී 


අදහස් (0)

ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන සිහිනය ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.