Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලොව වයස්ගතම ටෙස්ට් වේග පන්දු යවන්නා වූවත්, ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අතර පළමු ස්ථානය හිමි 40 හැවිරිදි ජේම්ස් ඇන්ඩසන් වෙලිංටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක නවසීලන්ත කණ්ඩායම දරුණු අගාධයකට ඇද දැම්මේය. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ ඇන්ඩසන් පන්දු 27 ක් තුළදී ඩෙවොන් කොන්වේ (0), කේන් විලියම්සන් (4) සහ විල් යංග් (2) තිදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවූ බැවින් ඕවර 8.3 ක් තුළදී නවසීලන්ත පිලේ කඩුලු 3 ක් ලකුණු 21 කට ඇද වැටිණ.
එතැනින් හිස එසවීමට නොහැකි වූ නවසීලන්තය දිනය අවසන් කළේ ලකුණු 138 කට කඩුලු 7 ක් අහිමි කරගනිමිනි. සිය මුල් ඉනිමේ අවාසිය අකාමකා ගැනීම සඳහා ලකුණ 435 ක ඉලක්කයක් කරා යන නවසීලන්තය තරගයේ තවත් සම්පූර්ණ දින 3 ක් ඉතිරිව තිබියදී ලකුණු 297 ක් පසුපසින් සිටී. පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් නවසීලන්තය ලකුණු 235 ක් ලබාගත යුතු නමුත් ඒ සඳහා තවත් ලකුණු 97 ක් ලබාගත යුතුව තිබේ.
සිකුරාදා (24 වැනිදා) ආරම්භ වූ තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරාගත්තද, එංගලන්ත පිතිකරුවෝ කඩුලු 8 කට ලකුණු 435 ක් ලබාගත්හ. මැතිව් හෙන්රි (100/4) සහ නායක ටිම් සවුති (93/1) එක්ව එංගලන්ත මුල් ඉනිමේ කඩුලු 3 ක් ලකුණු 21 කට දවාගත් නමුත් ජෝ රූට් (නොදැවී 153) සහ හැරී බෲක් (186) දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
වත්මන් එංගලන්ත කණ්ඩායමේ ‘බස්බෝල්’ සම්ප්‍රදායට අනුගත වෙමින්, හිටපු නායක ජෝ රූට් පන්දු 224 කින් නොදැවී ලකුණු 153 ක් ලබාගත්තේ හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. වඩාත් දරුණු ආක්‍රමණිකයා වූ හැරී බෲක්ගේ පැය හතර හමාරේ ඉනිම, හතරේ පහර 24 කින් සහ හයේ පහර 5 කින් සමන්විත විය.
හැරී බෲක් දැවී යාමෙන් පසුව ලකුණු 66 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටුණ නමුත් පසුපස බැලුවේ එංගලන්තය නොවේ. එංගලන්ත ඉනිමේ ලකුණු රැස්කිරීමේ වේගය ඕවරයකදී 4.99 ක් හෙවත් ඉතාම ආසන්න වශයෙන් ඕවරයකදී ලකුණු 5.00 ක් විය. වේගයෙන් ලකුණු ලබාගත්තා මදිවාට දෙවැනි දින දිවා ආහාරයට අඩහෝරාවක් තිබියදී එංගලන්ත ඉනිම නතර කළ බෙන් ස්ටෝක්ස්, වර්ෂාව නිසා තරගය නතර කිරීමට පෙර, ඕවර 42 ක් ඇතුළතදී සත්කාරකයන්ගේ කඩුලු 7 ක් බිම දමාගත්තේ තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම මිට මොළවා ගනිමිනි.
එංගලන්තය පිට පිටම ලබාගත හැකි හත්වැනි ටෙස්ට් ජය කරා පියමං කරමින් සිටින නමුත් ලෝක ටෙස්ට් ශූරතාවේ වත්මන් හිමිකරුවන් වන නවසීලන්තය ටෙස්ට් ජයක් නොමැතිව 8 වැනි තරගයටත් පිවිස සිටී.
එංගලන්තය - පළමු ඉනිම කඩුලු 8 ට 435 යි
(ජෝ රූට් නොදැවී 153, හැරී බෲක් 186, බෙන් ස්ටෝක්ස් 27, ස්ටුවර්ට් බ්‍රෝඩ් 14, ඔලී රොබින්සන් 18, මැතිව් හෙන්රි 100/4, මයිකල් බ්‍රේස්වෙල් 54/2)
නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 7 ක් දැවී 138 යි
(ටොම් ලෙතම් 35, හෙන්රි නිකොල්ස් 30, ඩැරිල් මිචෙල් 13, ටොම් බ්ලන්ඩල් නොදැවී 25, ටිම් සවුතී නොදැවී 23, ජේම්ස් ඇන්ඩසන් 37/3, ජැක් ලීච් 45/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.