Last Update  :  2025-01-02 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇෆ්ඝනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඇෆ්ඝනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්

editorial - 2023 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර චෙන්නායි නුවර එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 8 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථානුවෝ, ඕවරයක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 96 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ රාමට් ෂා (නොදැවී 77) සහ නායක හෂ්මතුල්ලා ශහිදි (නොදැවී 48) සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. එහිදී පන්දු 84 කට මුහුණදුන් රාමට් ෂා හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 45 කදී වාර්තා වූ ශහිදිගේ ඉනිම හතරේ පහර 4 කන් සමන්විත විය.

ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලා ගුර්බාස් (65) සහ ඊබ්‍රහීම් සද්‍රාන් (87) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 130 සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමූහ. පන්දු 53 කදී ලබාගත් ගුර්බාස්ගේ තෙවැනි අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 9 ක්ද, පන්දු 113 කදී ලබාගත් සද්‍රාන්ගේ 5 වැනි අර්ධ ශතකයට හතරේ පහර 10 ක්ද ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තේය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ඉෆ්තිකාර් අහමඩ් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 27 කින් ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායම සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඔසවා තැබුවේය. ‍

පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන් අබ්දුල්ලා ශෆික් පන්දු 75 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 58 ක් රැස්කළ අතර පළමු කඩුල්ල සඳහා ඉමාම් උල්හක් (17) සමග එක්ව පන්දු 61 කදී ලකුණු 56 ක්ද, දෙවැනි කඩුල්ල සඳහා බාබර් අසාම් (74) සමග එක්ව පන්දු 74 කදී ලකුණු 54 ක්ද එක්කළේය.

පන්දු 92 කට මුහුණදුන් බාබර්, සිය 30 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සැරසුවේය. සෞද් ශකීල් පන්දු 34 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, ශදාබ් ඛාන් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 40 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

 

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 දැවී 282

(අබ්දුල්ලා ශෆික් 58, ඉමාම් උල්හක් 17, බාබර් අසාම් 74, සෞද් ශකීල් 25, ශදාබ් ඛාන් 40, ඉෆ්තිකාර් අහමඩ් 40, නූර් අහමඩ් 49/3, නවීන් උල්හක් 52/2)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 49 කදී කඩුලු 2 ක් දැවී 286

(රහ්මනුල්ලා ගුර්බාස් 65, ඊබ්‍රහීම් සද්‍රාන් 87, රාමට් ෂා නොදැවී 77, හෂ්මතුල්ලා ශහිදි නොදැවී 48)


අදහස් (0)

ඇෆ්ඝනිස්ථානයට තවත් පෙරළිකාර ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.