Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ රෑ වැටුණු වලේම දවාලේත් ඇදගෙන වැටෙති
මුම්බායි ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ රෑ වැටුණු වලේම දවාලේත් ඇදගෙන වැටෙති

editorial - 2024 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි -සැකසුම : දමින්ද විජේසූරිය)

රෑ වැටුණු වලේම මහ දවාලේත් වැටුණු ඉන්දියාව 3-0 ක තරගාවලි පරාජයකට තල්ලු කරමින් මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී නවසීලන්තය ලකුණු 25 ක තියුණු ජයක් ලබාගත්තේය. නවසීලන්තය අමාරුවේ දැමීම සඳහාම වැන්කඩේ පිටියේදීත් දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කළ නමුත් ඉන්දියානුවෝ තමන්ගේ ඉනිම දෙකේ කඩුලු 20 න් 16 ක්ම නවසීලන්ත දඟ පන්දු යවන්නන්ට පූජා කළහ. 

වමතින් දඟ පන්දු යවන අජාස් පතෙල් (160/11), පිට දඟ පන්දු යවන ග්ලෙන් පිලිප්ස් (126/4) සහ පා දඟ පන්දු යවන්නා වන ඉෂ් සෝධි (36/1) මෙම කඩුලු 16 බෙදාහදා ගත්හ.
 
තරගයේ තුන්වැනි දිනය වූ අද (03 වැනිදා) ලකුණු 147 ක ඉලක්කයක් කරා ගිය ඉන්දියානුවෝ ඕවර 29.1 කදී ලකුණු 121 කට දැවී ගියහ. නවසීලන්ත පන්දු යවන්නන්ට එකම හිසරදය වූ රිෂාබ් පාන්ට් ලබාගත් ලකුණු 64 ඉන්දීය ඉනිමේ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටත් වැඩිවිය. ඉන්දීය කණ්ඩායම සම්පූර්ණයෙන්ම දවාගැනීමට නවසීලන්ත නායක ටොම් ලෙතම්ට අවශ්‍ය වූයේ පන්දු යවන්නන් තිදෙනෙකි. 

ඉන්දියානුවන් අවසන් වරට සම්පූර්ණ සුද්දයක පරාජයක් ලැබුවේ වසර 2000 දී දකුණු අප්‍රිකානුවන් හමුවේ පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකදීය. 

ලකුණු 147 ක ඉලක්කයක් කරා යාමේදී ඉන්දියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ රෝහිත් ෂර්මා මැතිව් හෙන්රිගේ පළමු ඕවරයේදීම ආක්‍රමණයට පිවිසියද මුරණ්ඩු පහරක් හේතුවෙන් ලකුණු 11 කට දැවී ගියේය. විරාට් කෝලි එක ලකුණකට දැවී යන විට පුවරුවේ සටහන් වූයේ ලකුණු 18 ක් පමණි. මුලු ලකුණු සංඛ්‍යාව 29 ක් වෙද්දී ඉන්දීය ඉදිරිපෙළ පිතිකරුවෝ පස් දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියහ. 

රිෂාබ් පාන්ට් පමණක් නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටි අතර රවීන්ද්‍ර ජදේජා සමගින් එක්ව හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් එයින් ජදේජාගේ දායකත්වය ලකුණු 06 ක් පමණි. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳීගියේ විල් යං විසින් රැකගන්නා ලද අති විශිෂ්ට උඩපන්දුවකිනි.

සාමාන්‍යයෙන් ආක්‍රමණශීලී පිතිකරුවක වන පාන්ට් කෙතරම් ස්ථාවර වූවත්, අනෙක් අන්තයෙන් පිතිකරුවන් එකා පසුපස එකා දැවීයාම වැළැක්විය නොහැකි විය. රිෂාබ් පාන්ට් ලකුණු 64 ක් ලබා දැවී ගියත් එය ද තුන්වැනි විනිසුරුවරයා විසින් දෙන  ලද විවාද සම්පන්න තීන්දුවක් විය. 

ඉන්දියානුවෝ කඩුලු 3 ක් අතැතිව තමන්ගේ ඉලක්කයට ලකුණු 26 ක් තරම් ආසන්න වූ නමුත් පන්දු 4 ක් ඇතුළත අවසන් කඩුලු තුනම දවාගත් ග්ලෙන් පිලිප්ස් සහ අජාස් පතෙල් නොසිතූ විරූ ජයක් නවසීලන්තයට ගෙන දුන්හ. 

වසර 36 කට පසුව ඉන්දියාවේදී සිය පළමු ටෙස්ට් තරගය ජයගනිමින්, නවසීලන්ත ක්‍රීඩකයෝ බැංගලූරු නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 8 ක ජයක් අත්කරගත්හ. අනතුරුව ඔව්හු පූනේ නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 113 කින් ජයගත්හ. 

නවසීලන්ත කණ්ඩායම විසින් කඩා දමන ලද්දේ වසර 2012 සිය ඉන්දියානුවන් සිය මව්බිමේදී එක දිගට ලබාගත් තරගාවලි ජයග්‍රහණ 18 ක මාලයයි.  ඉන්දියානුවන් අවසන් වරට ඉන්දියාවේදී පැවැති ටෙස්ට් තරගාවලියකින් පරාජය වූයේ 2012 දී එංගලන්තය හමුවේදීය. 

ඉන්දියාවේ මීලඟ තරගාවලිය ඕස්ටේ්‍රලියානුවන් හමුවේ ඕස්ටේ්‍රලියාවේදීම පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලියකි. 


නවසීලන්තය - පළමු ඉනිම 235 යි
ඉන්දියාව - පළමු ඉනිම 263 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම 174 යි

(ඩෙවොන් කොන්වේ 22, විල් යංග් 51, ඩැරිල් මිචෙල් 21, ග්ලෙන් පිලිප්ස් 26, මැතිව් හෙන්රි 10, රවිචන්ද්‍රන් අශ්වින් 63/3, රවීන්ද්‍ර ජදේජා 55/5)

ඉන්දියාව - දෙවැනි ඉනිම 121 යි
(රෝහිත් ෂර්මා 11, රිෂාබ් පාන්ට් 64, වොෂිංටන් සුන්දර් 12, අජාස් පතෙල් 57/6, ග්ලෙන් පිලිප්ස් 42/3)

අජාස් පතෙල් 


අදහස් (0)

ඉන්දියානුවෝ රෑ වැටුණු වලේම දවාලේත් ඇදගෙන වැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.