Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව හමුවේ නවසීලන්තය අසීරු අභියෝගයක
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ඉන්දියාව හමුවේ නවසීලන්තය අසීරු අභියෝගයක

editorial - 2023 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද මුම්බායි නුවර සිට..)

පිට පිටම එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකක අනු ශූරයන් බවට පත්ව සිටින නවසීලන්තය, මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම සඳහා මුම්බායි නුවර වන්‍කඩේ ක්‍රීඩාංගණයේදී හෙට (15 වැනිදා) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ අසීරු අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටියි.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් 4 න් තවමත් අපරාජිතව සිටින එකම කණ්ඩායම වන ඉන්දියාව, සිය මව්බිමේදී පරාජය කිරීම නවසීලන්තයට පමණක් නොව ඕනෑම කණ්ඩායමකට ඉතා අසිරු අභියෝගයකි. ඉන්දීය ක්‍රීඩකයන්ට වඩාත් හුරු පුරුදු තණතිලිවල තරග පැවැත්වමත්, ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබන සහයෝගයත් ඊට හේතු ලෙස සඳහන් කළ හැකිය.

කෙසේ වුවත් මෙවර තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව සහභාගි වූ තරග දෙස බැලීමේදී ඔවුන්ට හොඳ තරගයක් ලබාදී පරාජයට පත්ව ඇති කණ්ඩායම ලෙස නවසීලන්තය නම් කළ හැකිය. ඊට හේතුව එම තරගයේදී නවසීලන්තය ලබාදුන් ලකුණු 273 ක ඉලක්කය හඹායෑමේදී ඉන්දියාව කඩුලු 6 ක් අහිමිකරගෙන තිබීය. සෙසු තරග සියල්ලේදීම ඉන්දියාව ජය ලබා ඇත්තේ කඩුලු 6 කට වැඩි ප්‍රමාණයකින් හෝ ලකුණු 100 කට වැඩි පරතරයකිනි.

එබැවින් මෙම තරගයේදීද කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් බලාපොරොත්තු විය හැකිය. මින් පෙර මෙම කණ්ඩායම් දෙක අතර එක්දින ලෝක කුසලාන තරග 10 ක් පැවැත්වී ඇති ‍අතර ඉන් 5 කදීම ඉන්දියාව පරාජය කිරීමට නවසීලන්තය සමත්වී තිබීම නවසීලන්ත ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ නැංවීමට හේතුවනු ඇත. ලෝක කුසලාන තරග 4 ක ජය ඉන්දියාව සතුවී ඇති අතර සෙසු තරගය විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ.

කෙසේ වුවත් මූලික වටය අවසානයේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලු ලාභීන් අතර ඉන්දීය ක්‍රීඩකයන් 6 දෙ‍ෙනකු සිටියද, නවසීලන්ත ක්‍රීඩකයන් සිටින්නේ තිදෙනකු පමණි. වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන විරාට් කෝලි තරග 9 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 5 ක් සමග ලකුණු 594 ක් ලබා සිටින අතර එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන රචින් රවින්ද්‍ර තරග 9 කදී ලකුණු 565 ක් ලබා සිටින්නේ ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමගිනි.

එබැවින් පළමු අවසන් පූර්ව තරගයේදී කල් වේලා ඇතිව කෝලිගේ කඩුල්ල දවාගැනීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන්ද, රවින්ද්‍රගේ කඩුල්ල දවාගැනීම සඳහා ඉන්දීය පන්දු යවන්නන්ද විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනු ඇත. තරග 9 කදී ශතකයක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 503 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර සිවුවැනි ස්ථානයේ පසුවන ඉන්දීය නායක රෝහිත් ශර්මාද මෙම තරග‍යේදී වේලාසනින් දවාගැනීමට හැකි වුවහොත්, එය නවසීලන්ත පන්දු යවන්නන්ට තවත් අස්වැසිල්ක් වනු ඇත.

කණ්ඩායම් දෙකේ පන්දු යැවීමේ අංශ දෙක දෙස බැලීමේදී ජස්ප්‍රීට් බුම්රා (කඩුලු 17), මොහොමඩ් සාමි (කඩුලු 16) සහ රවින්ද්‍ර ජදේජා (කඩුලු 16) පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි, 7 වැනි සහ 8 වැනි ස්ථානවල රැදී සිටින අතර මිචෙල් සෑන්ට්නර් එහි 9 වැනි ස්ථානයේ පසුවන්නේද කඩුලු 16 ක් දවාගනිමිනි. එහිදී සාමි, ජදේජා සහ සෑන්ට්නර් සම කඩුලු සංඛ්‍යාවන් දවාගෙන තිබුණද, කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය අනුව ඔවුන්ට මෙම ස්ථාන හිමිව තිබේ.

නවසීලන්ත කණ්ඩායම සතුව ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති සස ලොකි ෆර්ගසන් වැනි දක්ෂ මෙන්ම අත්දැකීම් බහුල පන්දු යවන්නන් සිටියද, මෙවර තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔවුන් අපොහොසත් වී ඇත. ඒ අනුව පිතිහරඹය සහ පන්දු යැවීම යන අංශ දෙකෙන්ම මේ දක්වා නවසීලන්තයට වඩා ඉන්දියාව ඉදිරියෙන් සිටින බව පෙනී යයි. එබැවින් පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට නම් නවසීලන්තය මේ දක්වා නොකළ යමක් කළ යුතුව ති‍බේ.

නවසීලන්ත සංචිතය
කේන් විලියම්සන් (නායක), ඩෙවොන් කොන්වේ, රචින් රවින්ද්‍ර, ඩැරිල් මිචෙල්, මාක් චැප්මන්, ග්ලේන් පිලිප්ස්, ටොම් ලේතම්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සවුති, ‍‍ලොකී ෆර්ගසන්, ට්‍රෙන්ට් බෝල්ට්, විල් යංග්, ඉෂ් සෝධි, ජේම්ස් නීෂම් සහ කයිල් ජැමීසන්  

ඉන්දීය සංචිතය
රෝහිත් ශර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලොකේෂ් රාහුල්, සූර්යකුමාර් යාදව්, රවින්ද්‍ර ජදේජා, මොහොමඩ් ශාමි, ජස්ප්‍රීට් බුම්රා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, ප්‍රසිධ් ක්‍රිෂ්ණා, ඉෂාන් කිෂන්, ශර්ධුල් ඨාකූර් සහ රවිචන්ද්‍රන් අෂ්වින් 


අදහස් (0)

ඉන්දියාව හමුවේ නවසීලන්තය අසීරු අභියෝගයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.