Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උගුරට හොරා බේත් බීමේ කලාව
ආසියානු කුසලාන

උගුරට හොරා බේත් බීමේ කලාව

editorial - 2023 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සීමිත ඕවර තරගයකදී ඕවර 30 ක් නැතහොත් අඩුතරමේ ඕවර 25 ක් වත් බෙදාහදාගත යුතු වේග පන්දු යවන්නන් ගැන තවදුරටත් කතාකිරීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නෝ තිදෙනෙක්ම තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටිති. මේ තිදෙනාම පසුගිය 20 වැනිදා නිමාවූ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ නමුත්, විස්සයි-20 තරගයකදී යවන්නට තිබෙන ඕවර 4 මෙන් නොව එක්දින තරගයකදී ඕවර 10 ක් යැවීම බරක් බව වේග පන්දු යවන්නෝ දනිති. 

ඉදින් ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රහණ ගැන කතා කිරීම පැත්තකින් තියන්නට සිදුවී තිබේ. 
අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 08 වැනි ස්ථානයේ සිටින නමුත් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන පාකිස්තානය (01), ඉන්දියාව (03) සහ බංග්ලාදේශය (07) යන රටවල් තුනම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිති. ඇරත් “දවසේ වාසනාව” දිනාගැනීම සඳහා මෙය විස්සයි-20 තරගාවලියක් ද නොවේ. 

එබැවින්, වසර 40 කට ආසන්න ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන තරගාවලියේ 2023 අදියර දිහා ශ්‍රී ලංකාවට බලන්නට සිදුවී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර තමන් සිටින්නේ කොතැනද යන්න වටහාගැනීමේ දෘෂ්ටි කෝණයෙනි. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීම් තරගාවලිය ජයගනිමින් ‘අයි.සී.සී. කුසලාන’ දිනාගත් නමුත් එය කිසිසේත්ම සැලකිය යුත්තක් නොවේ. මක්නිසාද යත් ඊට සහභාගි වූයේ එක්දින ක්‍රිකට් පිටියේ හාල්මැස්සන් වන බැවිනි. බටහිර ඉන්දීය කොදෙව් පිල වුවද ඊට වැඩි වෙනසක් නැත. එහෙත් ආසියානු කුසලාන තරගාවලිය එසේ නොවේ. ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රහණයක් අත්කරගැනීමට නම් ක්‍රීඩකයන්ට තම තමන්ගේ ‘සුවදායක ඉසව්වෙන්’ මිදී ඉවතට පැමිණ ජයග්‍රහණය වෙනුවෙන් අරගල කිරීමට සිදුවීම සාමාන්‍යය ස්වභාවයයි. 

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ කරමින්, පාකිස්තානය සහ නේපාලය අතර හෙට (30 වැනිදා) මුල්තාන් නුවරදී පැවැත්වෙන තරගයේ සිටම තත්ත්වය එයයි. 

“පාකිස්තානය සහ ඉන්දියාව අතර තරග හැම තිස්සේම හරිම උණුසුම්. ඒ වගේ තරගයක් දිනාගන්න අපට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒත් මේ වෙලාවේ අපි හිතන්නේ නේපාලය ගැනයි”
“අපි කිසිම වෙලාවක ඔවුන්ව සුළුවෙන් තකන්න සූදානම් වෙන්නේ නෑ. මොකද මේක තරගාවලියේ ආරම්භක තරගය නිසා ඒක හරිම වැදගත්” යයි පාකිස්තානු නායක බාබර් අසාම් අද (29 වැනිදා) පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවසීය. 

ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙසිනි. සුපිරි හතර දෙනා අතරට පැමිණෙන්නේ නම්, ශ්‍රී ලංකාව කොහොමටත් ‘බී’-1 ලෙසින් නම්කෙරෙනු ඇත. ඒ සඳහා ඇෆ්ඝනිස්ථානය තලාපෙලා දැමිය යුතු නමුත් ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථානු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී නොවේ. එය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවරදීය. ඊට පෙර, බ්‍රහස්පතින්දා (31 වැනිදා) තරගයේදීම, බංග්ලාදේශයට තලාගැනීම වඩාත් නුවණට හුරුබව ලියා තැබීම වටී. 

ඉදිරිපෙළ වේග පන්ද යවන්නෝ තිදෙනාම තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටිති. වනිඳු හසරංගත් කණ්ඩායමේ නැත. එබැවින් පන්දු යවන්නන්ගේ අංශය දුර්වල බව අමුතුවෙන් කියයුතු නොවේ. පන්දු යවන්නන් දුර්වල කණ්ඩායමකට, එක්දින තරගයක් ජයගැනීම සඳහා ඇත්තේ එකම විකල්පයකි. එනම් වැඩි වැඩියෙන් ලකුණු ලබාගැනීම මිස අනෙකක් නොවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය දුර්වලවීම ගැන නායකයාගෙන් විමසුවහොත්, ඔහුට කියන්නට ඇත්තේ එකම කතාවකි. 

“අපට එරෙහිව ලකුණු කීයක් ලබාගත්තත් අපේ පිතිකරුවන්ට ඒ ගාන ලබාගන්න පුළුවන්” යයි දසුන් ශානක නිසැක වශයෙන්ම කියනු ඇත. එය උගුරට හොරා බේත් බොන්න කට සහ දිව සූදානම් කරගැනීමකි. 
ශ්‍රී ලංකාව පළමු වතාවට ආසියානු කුසලාන දිනාගත් 1986 දී (දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන්) එක්දින තරගයක් ජයගැනීමට ලකුණු 250 ක් ඉක්මවා ලබාගැනීම ප්‍රමාණවත් වූවත්, වර්තමානයේදී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තරග උපක්‍රම වෙනස් වී තිබේ. අද වන විට ලකුණු 320 ත් එක්දින තරගයක් සඳහා සම්පූර්ණ වශයෙන් ආරක්‍ෂිත ලකුණු සංඛ්‍යාවක් නොවේ. 

අනෙක් අතට තරගාවලියේ තරග 9 ක්ම ශ්‍රී ලංකාවේ පැවැත්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක යයි කිව නොහැකිය. ඉන්දීය කණ්ඩායම හැරුණු විට අනෙක් සියලුම රටවල ක්‍රීඩකයෝ එල්.පී.එල්. තරගාවලි සඳහා සහභාගි වූ බැවින් ඔව්හු ශ්‍රී ලංකාව ගැන හොඳින් දනිති. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින්, ක්‍රීඩකයන් මත එල්ලවන පීඩනයත් වැඩිය. 

ඉන්දියාව මෙන්ම පාකිස්තානයද තම තමන් වෙත එල්ලවන පීඩනය වෙනතක හරවා යැවීම සඳහා සුරංගනා කතා කියමින් සිටිති. 

“මේ වෙලාවේ අපි හිතන්නේ නේපාලය ගැනයි” යයි බාබර් අසාම් කියද්දී ඉන්දීය නායක රෝහිත් ෂර්මා කියන්නේ “පාකිස්තානය විතරක් නෙමේ ආසියානු කුසලාන තරගාවලියේ තවත් කණ්ඩායම් ඉන්නවා” කියාය. මේ දෙන්නාම කරන්නේත් උගුරට හොරා බේත් බීමක් ම මිස අනෙකක් නොවේ. 

හිටපු නායක විරාට් කෝලි මෙන්ම ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර් සහ ෂුබ්මන් ගිල් එක්ව සිටීම රෝහිත් ෂර්මාගේ පිතිකරු හමුදාව ශක්තිමත් කරන්නකි. වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බුම්රා පන්දු යැවීමේදී පෙරමුණ ගනු නිසැකය. 

ශ්‍රී ලංකාවට එරෙහිව හැමදාමත් ලකුණු ලබාගන්නා ටමීම් ඉක්බාල් නායකත්වයෙන් ඉවත්වීම නිසා බංග්ලාදේශය තරමක පසුබෑමකට ලක්වූවත් නායක සකිබ් අල්හසන් හොඳ සටන්කාමියෙකි. පළපුරුදු ක්‍රීඩකයකු වන සකිබ්, 2009 ත් 2017 ත් අතර කාලයේදී එක්දින තරග 50 කට වැඩි සංඛ්‍යාවක් කරා බංග්ලාදේශ පිල මෙහෙයවා තිබේ. 

රෂීඩ් ඛාන්, මුජිබුර් රහමන් සහ මොහොමඩ් නබී තිදෙනා එක්ව ඇෆ්ඝනිස්ථානු පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කරති. 

නේපාලය තරගාවලියේ කෝඩුකාරයන් වුවද, කෝඩුකාරයන් අවතක්සේරු කිරීම අවදානමකි. 1975 ලෝක කුසලාන තරගාවලියේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම එය ලෝකයාට පෙන්නුම් කරදී තිබේ. 
තරගාවලියේ පළමු වටය කාණ්ඩ දෙකකින් පැවැත්වෙයි. 

එක් ඒක කාණ්ඩයේ හොඳම කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 4 ක් සුපිරි හතර දෙනාගේ වටයට පිවිසෙනු ඇත. එහිදී ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය සැප්තැම්බර් 17 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 

 


අදහස් (0)

උගුරට හොරා බේත් බීමේ කලාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.