Last Update  :  2024-12-27 18:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට කඩුලු 8 ක ජයක්
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගය

එංගලන්තයට කඩුලු 8 ක ජයක්

editorial - 2024 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය) 

ඉන්දියාවේදීම ඉන්දියාව පරදවා 3-0 ක ජයක් අත්කරගත් නවසීලන්ත කණ්ඩායම ඔවුන්ගේ ගෙමිදුලේදීම උස්සා පොළොවේ ගැසූ එංගලන්ත ක්‍රීඩකයෝ ක්‍රයිස්ට්චර්ච් නුවරදී අද (01 වැනිදා) නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 8 ක විශිෂ්ට ජයක් අත්පත් කරගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් එංගලන්ත පිල පෙරමුණ ගත්තේය. 

බ්‍රයිඩන් කාසිගේ (42/6) විශිෂ්ට පන්දු යැවීමෙන්, නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 254 කට සීමා කිරීමෙන් පසුව එංගලන්තයේ ඉලක්කය ලකුණු 104 ක් විය. කඩුලු දෙකක් පමණක් දැවී එංගලන්තය ජයටැඹ කරා යන අතරේ නොදැවී ලකුණු 23 ක් ලබාගත් ජෝ රූට් තවත් ලෝක වාර්තාවක් තමන් සතුකර ගත්තේය. එනම් සිව්වැනි ඉනිමේදී වැඩිම ලකුණු ලබාගත් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමයි. 

සිව්වැනි වරට පන්දුවට පහර දුන් ඉනිම 60 කදී ලකුණු 1625 ක් ලබාසිටි ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්, සිව්වැනි ඉනිමේදී ලබාගත් ලකුණු එකතුව අනුව මෙතෙක් කලක් ඉදිරියෙන්ම සිටියේය. තෙන්ඩුල්කාර්ගේ වාර්තාව තමන් සතුකරගත් ජෝ රූට් මේ වන විට සිව්වැනි ඉනිම 49 කදී ලකුණු 1630 ක් ලබා සිටී. මෙම තරගය ජෝ රූට්ගේ 150 වැනි ටෙස්ට් තරගය ද වෙයි. 

තවමත් ඉතාමත් හොඳින් ලකුණු ලබාගනිමින් සිටින ජෝ රූට් (12,777) ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවා වශයෙන් සිටින සචින් තෙන්ඩුල්කාර්ගේ ලකුණු 15,921 හඹා යමින් සිටී. තමන් ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටින බව වරින් වර ඉඟි කළද ජෝ රූට් එය සෘජුවම ප්‍රකාශ කර නැත. 

එංගලන්තය දින හතරක් ඇතුළත මෙම ජයග්‍රහණය ලබාගැනීමේදී හැරී බෲක්ගේ (171) පිතිහරඹයත් බ්‍රයිඩන් කාර්සිගේ (106/10) විශිෂ්ට පන්දු යැවීමත් මහෝපකාරී විය. කෙසේ වෙතත් තමන්ගේ සුපුරුදු ‘බස්බෝල්’ ක්‍රිකට් ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටින එංගලන්ත පිතිකරුවෝ ඕවර 12.4 කදී  ලකුණු 104 ක ඉලක්කය කරා ගියහ. තරගයේ සම්පූර්ණ දිනයකටත් වැඩි කාලයක් ඉතිරිව තිබුණ නමුත් සිව්වැනි ඉනිමේදී එංගලන්ත පිතිකරුවන් ලකුණු ලබාගත්තේ ඕවරයකදී ලකුණු 8.21 තරම වූ වේගයකිනි. 

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ජේකබ් බෙතීල් මුහුණ දුන් 37 වැනි පන්දුවේදී සිය අර්ධ ශතකය ලබාගත්තේ එංගලන්ත ජයග්‍රහණයත් සම්පූර්ණ කරමිනි. 
බෙන් ස්ටෝක්ස් පන්දු යවමින් සිටි අතරතුරදී සිය ඕවරය සම්පූර්ණ කරන ලෙස ගස් ඇට්කින්සන්ට පන්දුව බාරදුන් නමුත් තමන් දෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ද එංගලන්ත නායකයා කීවේය. 

නවසීලන්ත ක්‍රීඩකයන් ඉන්දියාවේදී ලබාගත් සාර්ථකත්වය නිසා මෙම තරගයේ පළමු දින හතර පුරාම, ක්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි ඕවල් පිටිය පිරෙන්නට නරඹන්නෝ පැමිණ සිටියහ. එහෙත් තමන්ගේ කණ්ඩායම පරාජය වනු බලා සිටින්නට ඔවුන්ට සිදුවිය. 

නවසීලන්තය සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 6 වැනිදා (සිකුරාදා) හැමිල්ටන් නුවරදී ආරම්භ වෙයි.


නවසීලන්තය - පළමු ඉනිම 348 යි
එංගලන්තය - පළමු ඉනිම 499 යි
නවසීලන්තය - දෙවැනි ඉනිම 254 යි

(කේන් විලියම්සන් 61, රචින් රවීන්ද්‍ර 24, ඩැරිල් මිචෙල් 84, ග්ලෙන් පිලිප්ස් 19, නේතන් ස්මිත් 21, ටිම් සවුතී 12, ක්‍රිස් වෝක්ස් 39/3, බ්‍රයිඩන් කාර්සි 42/6)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 104 යි
(බෙන් ඩකට් 27, ජේකබ් බෙතිල් නොදැවී 50, ජෝ රූට් නොදැවී 23)


අදහස් (0)

එංගලන්තයට කඩුලු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.