Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය කඩුලු 3 ට 221 යි
ඕවල් ටෙස්ට් තරගය

එංගලන්තය කඩුලු 3 ට 221 යි

editorial - 2024 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

ශ්‍රී ලංකාවට එරෙහිව අද (6 වැනිදා) ආරම්භ වූ ඕවල් ටෙස්ට් තරගය දෙවැනි වරටත් මන්දාලෝකය හේතුවෙන් නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය. නායක ඔලී පෝප් ලකුණු 103 ක්ද, හැරී බෘක් ලකුණු 8 ක්ද ලබා ඒ වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 79 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 86 රැස්කළ ආරම්භක පිතිකරු බෙන් ඩකට් පිටියෙන් ඉවත් කිරීමට මිලාන් රත්නායක සමත් වුවත්, සටන අත් නොහළ පෝප්, හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමග සිය 7 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. 

ඩැනියෙල් ලොර්න්ස් (5) සහ ජෝ රූට් (13) අඩු ලකුණු ලබා සිටයදී පිටියෙන් ඉවත් කිරීමට ළහිරු කුමාර සමත් වුවද, ඔහු යැවූ ඕවර 12.1 තුළ ලකුණු 81 ක් රැස්කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ. සිය විශේෂඥ දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය බංකුවේ රඳවමින් වේග පන්දු යවන්නන් සිවු දෙනකු සමග ශ්‍රී ලංකාව මෙම තරගයට ක්‍රීඩා කරයි. 

අන්ධකාර අහස් කුස යට කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පැයකුත් මඳ වේලාවකට පසුව පැවැති මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය. 

ආලෝක තත්ත්වය යහපත් අතට හැරේවි යයි බලාපොරොත්තුවෙන් සිටියද දහවල් 12.40 වන විටත් එවැන්නක් ඇති නොවූයෙන් දිවා ආහාරය ගැනීමට විනිසුරුවරු තීරණය කළහ. ලන්ඩන් නුවර මෙන්ම මෙම ක්‍රීඩාංගණය අයත් වන සරේ ප්‍රාන්තයේත් තැනින් තැන ඊයේ උදෑසන සිටම වරින් වර වර්ෂාව ඇතිවිය. 

එංගලන්තයේ ඉලක්කය වන්නේ ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන මෙම තරගය ජයගනිමින් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමයි. කොදෙව් පිල හමුවේත් 3-0 ක ජයක් ලබාගත් හෙයින් මෙම තරගය ජයගතහොත් එක දිගට ටෙස්ට් තරග 6 ක් ජයගැනීමේ අවස්ථාව එංගලන්තයට හිමිවනු ඇත. 

කලින් තීරණය කර තිබූ ආකාරයෙන්ම 20 හැවිරිදි වමත් වේග පන්දු යවන්නා වන ජොෂ් හල් අද තරගයේදී එංගලන්තයේ ටෙස්ට් හිස්වැස්ම දිනාගත්තේය. ජොෂ් හල්ට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමූ හිටපු නායක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එංගලන්තයේ සහාය පුහුණුකරුවාය. ජොෂ් හල් මෙන්ම ෆ්ලින්ටොෆ්ගේ පුතණුවන් වන රොකී ෆ්ලින්ටොෆ් ද එංගලන්ත 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයෝ වෙති. එහෙත් ජොෂ් හල් පසුගිය සතියේදී 20 වැනි වියට පා තැබුවේය. 

 

 


අදහස් (0)

එංගලන්තය කඩුලු 3 ට 221 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.