Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය පරාජයේ පියවරු සොයති

එංගලන්තය පරාජයේ පියවරු සොයති

දිලිනි මල්රුක්ෂි - 2015 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ජයග‍්‍රහණයට පියවරු දහසක් වෙතත් පරාජයට ඇත්තේ එක් පියකු පමණකැයි ප‍්‍රසිද්ධ කතාවකි. පසුගිය ඉරිදා (1 වැනිදා) වෙලින්ටන් නුවර වෙස්ට්පැක් කී‍්‍රඩාංගණයේදී එංගලන්ත පිල අත්කරගත් පරාජයට නම් පියවරු දෙදෙනෙක් සිටින බව දැනගන්නට තිබේ.

එංගලන්ත නායක ඔයින් මෝගන් පවසන පරිදි එංගලන්ත පිලට හිමිවූ මෙම දරුණු පරාජයේ (කඩුලූ 9 කින්) වගකීම පන්දු යවන්නන් බාරගත යුතුය. ලකුණු 310 ක් පුවරුවට එක්කර දීමෙන් පසුවද එය රැකගත නොහැකි නම් පන්දු යවන්නන්ගෙන් ඇති ඵලය කිමැයි මෝගන් සිතනවා වන්නට පිළිවන.

එහෙත් එංගලන්ත පිලේ හිටපු පන්දු යවන්නකු වන ගේ‍්‍රඒම් ස්වෝන් කියන්නේ මෙම පරාජයට හේතුව එංගලන්ත තේරීම් කමිටු නිලධාරීන් අතීතයේ ජීවත් වෙමින් තීරණ ගැනීම බවයි.

ඇතැම් විට ඔයින් මෝගන් පිතිකරුවකු නිසා එසේ කීවත් ඔහු පන්දු යවන්නකුද වූයේ නම් එසේ නොකීමටද ඉඩ තිබේ. මක්නිසාද යත් පිටතින් ගෙනැවිත් සවිකරන ලද වෙලින්ටන් කී‍්‍රඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට කිසිසේත්ම අවස්ථාවක් නොදුන් බැවිනි.

තරගය ආරම්භයේ සිටම එය ලකුණු 300 තණතීරුවක් බව පෙනෙන්නට තිබිණ. ශී‍්‍ර ලංකා පිලට ලැබුණු උඩපන්දු රැකගත්තා නම් එංගලන්ත පිල ලකුණු 260 - 280 සීමාවේ නතර කරගත හැකිව තිබුණද අවසන්  ඕවර 7 දී ලකුණු 90 ක් උදුරා ගැනීමට ජෝ රූට්, ජොස් බට්ලර් සහ කි‍්‍රස් වෝක්ස් තිදෙනා සමත් වූහ. එහිදී තිසර පෙරේරා යැවූ 45 වැනි  ඕවරයේදී ලකුණු 25 ක් උදුරාගත් අතර 50 වැනි  ඕවරය යැවූ සුරංග ලක්මාල්ට තඩිබාමින් ලබාගත් තවත් ලකුණු 22 ක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.

තණතීරුව කුමන ආකාරයේ එකක් වුවත් ලකුණු 310 ක් හඹායාම පහසු දෙයක් නොවේ. මෙහිදී ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ දක්‍ෂතාව වූයේ ඔවුන් මුල සිටම කිසියම් සැලසුමක් අනුව ඉලක්කය හඹා යමින් එහි 20 වැනි  ඕවරය දක්වා සිය කඩුලූ රැකගැනීමත් එතැන් සිට ක‍්‍රමාණුකූලව ලකුණු වේගය වැඩි කරමින් එංගලන්ත පිල ක‍්‍රම ක‍්‍රමයෙන් පීඩනයට පත්කිරීමත්ය.

ශී‍්‍ර ලංකා පිලේ ලකුණු වේගය වැඩි කළ ආකාරය වගුවකට ගෙනහැර දක්වන්නේ නම් එය මෙසේ වෙයි.

ඕවරය ලකුණු ලකුණු වේගය
5 25 5'00
10 55 5'50
20 105 5'25
25 131 5'24
30 166 5'53
34 188 5'53
39 242 6'21
45 290 6'44
47 304 6'46

ඉනිම ආරම්භ වන විට ශී‍්‍ර ලංකා පිල විසින් පවත්වාගෙන යා යුතු වේගය  ඕවරයකට ලකුණු 6.20 කි. එහෙත් ලකුණු හඹා යාම සිහියේ තියාගෙනම තමන්ගේ කඩුලූ ආරක්‍ෂා කරගනිමින් ගමනේ අඩක් නිමකිරීමට ශී‍්‍ර ලංකා පිල සැලසුම්කර තිබිණ. 34 වැනි  ඕවරය වන විට තිබුණ ලකුණු සංඛ්‍යාව (188/1) අනුව තත්ත්වය සලකා බැලූ සංගක්කාර සහ තිරිමාන්න දෙදෙනා පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක  ඕවර එවේලේම ඉල්ලා ගනිමින් 35 වැනි  ඕවරයේ සිට 39 වැනි  ඕවරය දක්වා පන්දු 30 කදී ලකුණු 54 ක් ලබාගත්හ.

ඒ  ඕවරයකදී ලකුණු 10.8 ක වේගයකි. ඉතිරි ගමන යාමට අවශ්‍ය විශ්වාසය එතැනින් ලබාගත් පිතිකරුවෝ දෙදෙනා එංගලන්ත පන්දු යවන්නන්ගේ අතට පන්දුව යවමින් ලකුණක් කරා දිවයාමටත්, ලකුණු 1 ක් තිබූ තැන ලකුණු 2 ක් බවට පරිවර්තනය කිරීමටත් උත්සුක වූහ.

සංගක්කාර පන්දුවට පහර දුන්නේ හතරේ සීමාව තමන්ගේ දෙපතුළ ළගට ගෙන්වා ගත් පරිද්දෙනි. නැතිනම් පන්දු රකින්නන් තමන්ට  ඕනෑ  ඕනෑ තැන්වල රඳවා ඇති ලෙසිනි. 25 වැනි  ඕවරයේදී සංගක්කාර ලකුණු 13 ක් පමණක් ලබා සිටින විට තිරිමාන්න ලකුණු 69 ක් ලබා සිටියේය. එහෙත් තිරිමාන්න සිය ශතකය සඳහා ලකුණු 31 ක් ලබාගනිද්දී, සංගක්කාර ලකුණු 13 සිට ලකුණු 78 දක්වා ඉහළ නැග සිටියේය. පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක  ඕවර අවසන් වූ 39 වැනි  ඕවරය නිමා වන විට තිරිමාන්න ලකුණු 100 ක්ද සංගක්කාර ලකුණු 92 ක් ද ලබා සිටියේය.

වසර 40 ක් පැරණි ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහායේ ලකුණු 300 ක් හඹා යමින් තරගයක් ජයගෙන ඇත්තේ හය වතාවකි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙවර ඒ දස්කම කළේ කඩුලූ 9 කින් තරගය ජයගනිමින් පමණක් නොවන පන්දු 16 ක්ද ඉතිරිව තිබියදීය.

එංගලන්තයට කාලා ඉන්නට බැරිවූ හේතුවත් එයමය. ඇරත් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිල විසින් මෙතෙක් පරාජය කර ඇත්තේ තවමත් ටෙස්ට් වරම් අහිමි ස්කොට්ලන්ත පිල පමණි. එංගලන්ත පිලේ හිටපු පන්දු යවන්නකු වූ ගේ‍්‍රඒම් ස්වෝන් මේ තත්ත්වය දකින්නේ විකාරයක් ලෙසිනි.

”මෙතැන ප‍්‍රශ්නය තියෙන්නේ පන්දු යවන්නන්ගේ විතරක් නෙමේ. මේ තරගය කරා අප අවතීර්ණ වූ ආකාරයේයි....”

”ලකුණු 310 ක් ගැහැවවාම හැමෝම කිව්වා ‘ආ...නියමයි !, අති විශිෂ්ටයි !!’ කියලා...ඒත් දැන් කාලයේ ලකුණු 310 ක් කියන්නේ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාවක් මිසක් විශිෂ්ට ලකුණු සංඛ්‍යාවක් නෙමේ” යයි එංගලන්ත පිලේ හිටපු ද`ග පන්දු යවන්නා ‘බී.බී.සී.-5’ ගුවන් විදුලි සේවයට පවසා තිබිණ.

”අපි හරිනම් ලකුණු 340 ක් හෝ 350 ක් විතර ලබාගන්න  ඕනේ. ඉහළ මට්ටමේ කණ්ඩායම් සහ සාමාන්‍ය කණ්ඩායම් අතර පරතරය එන්න එන්නම වැඩිවෙනවා....”

”ඔවුන් කියන්නේ පන්දුවට පහර දීමේ සීමාවක් තියෙනවා කියලයි. ඒත් අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය මට්ටමේ ලකුණු සංඛ්‍යාවන්..ඒ සීමාවෙන් ඔබ්බට යන්න හිතන්නේම නෑ” යයි ගේ‍්‍රඒම් ස්වෝන් කියයි.

ස්වෝන්ගේ මේ තර්කයත් සමගින් එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාව ගමන් කරන්නේ කොහාටද යන්න ඉතාමත් පැහැදිළිය. දකුණු අපි‍්‍රකානු පිල, මෙම ලෝක කුසලාන තරගාවලියේදී, මේ වන විටත් දෙවතාවක්ම ලකුණු 400 සීමාව පසුකර ගොස් තිබේ.

විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබාගත් ඇලෙක්ස් හේල්ස් වැනි පිතිකරුවකු බංකුවේ තබා තරග කිරීම පිළිබඳව ස්වෝන් මහත් විස්සෝපයෙන් කරුණු දක්වයි.

එංගලන්ත පිල පමණක් නොවේ. දිමුත් කරුණාරත්න තවදුරටත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ 11 දෙනා අතර රඳවාගැනීමද මහත් විමතියට කාරණයකි. බංග්ලාදේශ පිලට සහ එංගලන්ත පිලට එරෙහි තරග දෙකේදීම දිමුත් පන්දුවට පහර දීම අවශ්‍ය නොවූ නමුත් අවශ්‍ය වූයේ නම් දිමුත්ට කළ හැක්කේ කුමක්ද යන්නත් විමසිය යුත්තකි. එහෙත් ටෙස්ට් මට්ටමේදී දිමුත් කරුණාරත්න යනු මහත් බලාපොරාත්තු තැබිය හැකි පිතිකරුවකු බව සැකයක් නැත.

එංගලන්ත පිලේ පරාජය සම්බන්ධයෙන් තව තවත් කරුණු දක්වන හිටපු ආරම්භක පිතිකරුවකු වන ජෙෆ්රි බෝයිකොට් මහතා පවසන්නේ වත්මන් එංගලන්ත කණ්ඩායම යථාර්ථවාදී නැති බවයි.

”අපට තවත් ලකුනු 20 ක් විතර පහසුවෙන්ම ලබාගන්න තිබුණා. ඒත් එක අවස්ථාවකදී අපේ ඈයෝ ඔහේ පාවෙමින් හිටියා මිසක් ලකුණු ගන්න උත්සාහ කළේ නෑ. අනෙක අපි මේ තරගාවලියේ බලවේගයක් නෙමේ”

”පන්දුවට පහර දීම නම් හොඳයි. මේ කොල්ලන් හොඳයි...ඒත් පන්දු යැවීම...අනේ අපොයි ! කියන්න කණගාටුයි !!, ඒක නම් හොඳයි කියන්න බෑ”..යයි ජෙෆ් බෝයිකොට් මහතා පවසා තිබිණ.

ලෝක කුසලාන තරගාවලිය යනු එංගලන්ත පිල දකින, නිමාවක් නැති භයංකාර සිහිනයක් යයි එංගලන්තයේ ‘දි ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් පත වාර්තා කර තිබිණ.

”සෑම වසර හතරකට වරක්ම මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා අපේ රට නියෝජනය කරන්න අපි කී‍්‍රඩකයන් පිරිසක් තෝරලා යවනවා. ඒත් මේ ගොල්ලන් කරන කි‍්‍රකට් කී‍්‍රඩාව එක්කෝ ඒ කාලයේ තාලයට නොගැලපෙන, යල්පැනගිය කී‍්‍රඩාවක්. නැතිනම් ඒ කී‍්‍රඩාවේ අපේක්‍ෂිත මට්ටමට වඩා බොහෝ පහළින් තියෙන එකක්” යයි දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත වාර්තා කර තිබිණ.

දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පතේ ඒ කතාව නම් ඇත්තකි. 1992 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට කී‍්‍රඩා කිරීමෙන් පසුව එංගලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයටවත් සුදුසුකම් ලබා නැත.

ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොසියා මහතාත් බංග්ලාදේශ තරගය නිමවීමෙන් පසුව මෙල්බර්න් නුවරදී අපූරු කතාවක් කීවේය.

නිල වශයෙන් කී කතාවක් නොවන නමුත් මයිකල් ද සොයිසා මහතා ඉතා සැහැල්ලූවෙන් කී කතාවේ බරපතළකම බොහෝ දෙනකුට වැටහුණේ එංගලන්ත - ශී‍්‍ර ලංකා තරගය අවසන් වීමෙන් පසුවය.

මෙල්බර්න් තරගය ජයගැනීමෙන් පසුව ශී‍්‍ර ලංකා පිලට එංගලන්තය හා තරග කිරීමට සිදුවන්නේ නවසීලන්තයේදී බවත් පසුගිය දිනවල නවසීලන්තයේදී අසාර්ථක වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙලින්ටන් තණතීරුව කෙසේ විය හැකිද යන්නත් කිසිවකු විසින් ශී‍්‍ර ලංකා කළමණාකාරුගෙන් විමසන ලදි.

”අයියෝ තණතීරුව මෙකක් වුණත් ඒක අපට ප‍්‍රශ්නයක් නෙමේ..තරගය එංගලන්තය එක්කනේ..එක ඉතින් යන ගමන් සාක්කුවේ දාගෙන යන දිනුමක් වගේ දෙයක්” යයි මයිකල් ද සොයිසා මහතා මෙල්බර්න් නුවරදී කීවේය.

ද සොයිසා මහතා එවන් ප‍්‍රකාශයක් කරන්නට ඇත්තේ තමන්ගේ කණ්ඩායම පිළිබඳව අන් සියලූ දෙනාට වඩා හොඳින් දන්නා නිසා විය හැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම ආපසු හැරී බැලූවහොත් 2011 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදීත් එංගලන්තයට එරෙහිව ශී‍්‍ර ලංකා පිල ජයගත්තේ කඩුලූ 10 කිනි.

එංගලන්ත පිලට බොහෝ අවස්ථාවන්හිදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙතින් උරුම වන්නේ සාමාන්‍ය පරාජයන් නොව හද පාරවන දරුණු පරාජයන්ය.


අදහස් (2)

එංගලන්තය පරාජයේ පියවරු සොයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.