Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් ශූරතාව දිනාගනී

ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් ශූරතාව දිනාගනී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගමාලාව පෙනෙන තෙක් මානයේදී සිය ප‍්‍රතිවාදීන්ට අනතුරු ඇඟවීමක්  කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ, පර්ත් නුවර බටහිර  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සංගම් කී‍්‍රඩාංගණයේදී පැවැති ‘කාල්ටන් මිඞ්’ තුන්කොන් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදී එංගලන්තය ලකුණු 112 කින් පරදවා ශූරතාව දිනාගත්හ.

අද දිනය තමාගේම දිනයක් බවට පත්කරගත් ග්ලෙන් මැක්ස්වෙල් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද පෑ විස්මිත දස්කම්  ඕස්ටේ‍්‍රලියානු ජයග‍්‍රහණයේ ප‍්‍රබලතම සාධකය විය.

ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය  ඕවර 39.1 කදි ලකුණු 166 කට දැවී ගියේ මැක්ස්වෙල්ට කඩුලූ 4 ක්ම පූජා කිරීමෙන් පසුවය. එය ඔහුගේ එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම බවටද පත්විය.

මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත්වී තිබුණේ 2013 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 63 කට කඩුලූ 4 ක් දවාලීමයි. එය වාර්තාවූයේද මේ ක‍්‍රීඩාංගණයේදීම වීම විශේෂත්වයකි. අද දිනයේ මැක්ස්වෙල් කඩුලූ 4 ක් බිඳ දැමුවේ ලකුණු 46 ක් පමණක් ලබා ගැනීමට අවසර දෙමිනි.

මිචෙල් ස්ටාක් යැවූ පළමු  ඕවරයේදීම පිට පිට පන්දු දෙකක් හතරේ සීමාවට යැවූ ඉයන් බෙල් (8) සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් සිවුවැනි  ඕවරයේදී දැවී ගියේ ජොශ් හේස්ල්වුඞ්ගේ පන්දුවකිනි. අනතුරුව 9 වැනි  ඕවරයේදී ජේම්ස් ටේලර් දවාගත් මිචෙල් ජොන්සන් සිය ඊළඟ  ඕවරයේදී මුයීන් අලී (26) සහ නායක ඔයින් මෝගන් (0) දවා ගත්තේ පිට පිට පන්දු දෙකකිනි.

ලකුණු 71 ක් තුළ කඩුලූ 5ක් බිඳ වැටුණු මොහොතේ රවී බොපාරා (33) සමග එක්ව ලකුණු 98 දක්වා එංගලන්ත ඉනිම ගොඩනගමින් සිටි ජොස් බට්ලර් (17) දැවී ගියේ මැක්ස්වෙල් යැවූ 25 වැනි  ඕවරයේ පළමු පන්දුවට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කිරිමට යාමේදීය.

ක‍්‍රිස් වෝක්ස් (0) ලකුණු නොලබා දැවී ගිය හෙයින් එංගලන්ත ක‍්‍රීඩකයන්ගේ විවේකාගාරයේ නිහඬතාව රජයන්නට විය. එතැන් සිට පන්දුවේ වාසිය දිගටම මැක්ස්වෙල්ට හිමිවිය. වේගවත් ඉනිමක නිරතවූ ස්ටුවර්ට් බ්‍රෝඞ් (24) සහ බොපාරා දවාලමින් මැක්ස්වෙල් සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළේය.

වඩාත් ප‍්‍රවේසමෙන් පිතිහරඹයේ නිරතවිය යුතු පර්ත් නුවරදී පස්වැනි කඩුල්ලට ලකුණු 141 ක තීරණාත්මක සම්බන්ධතාවක් ගොඩනැගූ ග්ලෙන් මැක්ස්වෙල් සහ මිචෙල් මාෂ් දෙදෙනාත්, පසුපෙළින් පිටියට පැමිණ වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළ ජේම්ස් ෆෝක්නර් එක්ව පළමුව පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියානු පිල නියමිත  ඕවර 50 නිමාවේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 278 ක් දක්වා ඉහළට ඔසවා තැබීමට සමත්වූහ.

පන්දු යවන්නන්ට වැඩි වාසියක් බලාපොරොත්තු විය හැකි මේ තණතීරුවේ කාසියේ වාසිය ලැබූ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. එය හැම අතින්ම නිවැරැදි තීරණයක් බවට පත්වූ බව ආරම්භයේ දී පෙනෙන්නට තිබිණි.

ජේම්ස් ඇන්ඩර්සන් යැවූ පළමු  ඕවරයේ තුන්වැනි පන්දුවෙන්ම ඒරන් ෆින්ච් ලකුණු ලැබීමට පෙර දැවී ගිය අතර 7 වැනි  ඕවරයේදී ඬේවිඞ් වෝනර්ද දවාගනිමින් ඇන්ඩර්සන් සිය ප‍්‍රතිවාදීන්ට එල්ල කළේ සුළුපටු අභියෝගයක් නොවේ.  ඕස්ටේ‍්‍රලියානු එක්දින නායක ජෝර්ජ් බේලි (2) ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවකින් දැවී යද්දී ලකුණු පුවරුව දිස්වූයේ කඩුලූ 3 ට 46 ක් ලෙසිනි. 18 වැනි  ඕවරය යැවීමට මුයීන් අලී කැඳවීමත් සමග එතෙක් හොඳින් පන්දුවට මුහුණදෙමින් සිටි ස්ටීවන් ස්මිත්ගේ ඉනිම ලකුණු 40 කට සීමාවිය.

මැක්ස්වෙල් සහ මාෂ්ගේ අනගි සම්බන්ධතාව ගොඩ නැගුණේ ඉන් අනතුරුවය.

ඉතා පරිස්සම් සහගතව පිත්ත හැසිරවූ මැක්ස්වෙල් සහ මාෂ්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම ගොඩ නැගීමට සමත්වූහ. ස්ටුවර්ට් බ්‍රෝඞ් යැවූ ඉනිමේ 41 වැනි  ඕවරයේ අවසන් පන්දුවට දැවී ගිය මැක්ස්වෙල්ට සිය ශතකය අහිමිවූයේ ලකුණු 5 කිනි. පන්දු 98 ක් වැයවූ ඔහුගේ ඉනිම හතරේ පහර 15 කින් අලංකාර විය.

මැක්ස්වෙල්ගේ දැවීයාමෙන් පසුව මිචෙල් මාෂ් තරමක් පසුබා ගිය අතර ස්ටීවන් ෆින් යැවූ 44 වැනි  ඕවරයේ දුවද්දී දැවීයාමට හසුවීමෙන් මාෂ්ගේ ඉනිමද ලකුණු 60 දී නිමාවට පත්විය.

බ‍්‍රැඞ් හැඩින්ට (9) වැඩිවේලා පිටියේ රැඳී සිටීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැතත් මිචෙල් ජොන්සන් සමග එක්වූ ජේම්ස් ෆෝක්නර්, සිය එක්දින තරග දිවියේ අමතක නොවන ඉනිමක් ක‍්‍රීඩා කරමින්  ඕස්ටේ‍්‍රලියානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට විශිෂ්ට දායකත්වයක් දුන්නේය. දෙදෙනා අතර 8 වැනි කඩුල්ලට ගොඩනැගුණු සම්බන්ධතාව ලකුණු 45 කි. එම ලකුණු 45 න් ජොන්සන්ට එකතුවූයේ ලකුණු 3 ක් පමණි. ඉතිරිය ෆෝක්නර්ගේය.

වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ ෆෝක්නර්  ඕස්ටේ‍්‍රලියානු ඉනිම නිමාවෙද්දී නොදැවී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 50 කි. ඊට වැයවූයේ පන්දු 24ක් පමණි.

හතරේ පහර 4කින් සහ හයේ පහර 4කින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළ ෆෝක්නර්, ඉන් හයේ පහර 3 ක්ම ගැසුවේ ඔහුගේ ඉවසීම පරික්ෂා කිරීමට උත්සාහ කළ ක‍්‍රිස් වෝක්ස් යැවූ ඉනිමේ 49 වැනි  ඕවරයේදීය.

ස්ටීවන් ෆින් යැවූ ඉනිමේ අවසන්  ඕවරයේ අවසන් පන්දුවත් ෆෝක්නර් විසින් හතරේ සීමාවට ඉහළින් යවන ලදි.  ඒ සමගම ඔහුගේ එක්දින තරග දිවියේ සිවුවැනි අර්ධ ශතකය වාර්තා වූ අතර ඒ අවස්ථා හතරේදීම ෆෝක්නර් නොදැවී සිටීම විශේෂත්වයකි.

ඕස්ටේ‍්‍රලියාව - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 278
(ඬේවිඞ් වෝනර් 12, ස්ටීවන් ස්මිත් 40, ග්ලෙන් මැක්ස්වෙල් 95, මිචෙල් මාෂ් 60, ජේම්ස් ෆුල්ක්නර් නොදැවී 50, ස්ටුවර්ට් බ්‍රෝඞ් 55/3, ජේම්ස් ඇන්ඩර්සන් 38/2යි)

එංගලන්තය - ඕවර 39.1 කදී සියලූදෙනා දැවී ලකුණු 166
(මුයින් අලී 26, ජෝ රූට් 25, රවී බොපාරා 33, ජොස් බට්ලර් 17, ස්ටුවර්ට් බ්‍රෝඞ් 24, ග්ලෙන් මැක්ස්වෙල් 46/4, මිචෙල් ජොන්සන් 27/3, ජොස් හැස්ල්වුඞ් 13/2යි)


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව තුන්කොන් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.