Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කඩුලු 5 ක ජයකින් බංග්ලාදේශයට තලයි
ආසියානු කුසලාන 2023

කඩුලු 5 ක ජයකින් බංග්ලාදේශයට තලයි

editorial - 2023 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට..)

ඉලක්කයට පන්දු යැවීමත්, බෙල්ල කඩාගෙන පන්දු රැකීමත් ක්‍රිකට් ක්‍රීඩාවට කිනම් අලංකාරයක් ගෙන එන්නේද යන්න කදිමට කියාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කළහ. මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට එක්දින තරග 11 ක් ජයගනිමින්, මීට පෙර තිබූ තරග 10 ක ජයග්‍රහණ වැල තවත් එකකින් දිගු කළේය. 

වසර 2004 දීත්, 2013 සහ 2014 වසරවලදීත් ශ්‍රී ලංකා කණ්ඩායම එක දිගට එක්දින තරග 10 ක් ජයගෙන තිබිණ. 

පසුගිය ජූනි 4 වැනිදා හම්බන්තොටදී ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් ආරම්භ වූ ජයග්‍රහණ වැලේ 11 වැන්න අද සටහන් විය. එහෙත් මෙම ජයග්‍රහණ 11 දී, අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට ඉහළින් සිටි කණ්ඩායමක් පරාජය කළ එකම අවස්ථාව වූයේ අද බංග්ලාදේශ පිල පරාජය කිරීමයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 164 කට සීමාවිය. ඉලක්කය පහසු වූ නමුත්, ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ කඩුලු 3 ක් ලකුණු 43 කට බිඳ වැටිණ. එහෙත් ස්ථාවර පිතිහරඹයක නිරත වූ සධීර සමරවික්‍රම (54) සහ චරිත් අසලංක (නොදැවී 62) එක්ව ඕවර 11 ක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියහ. 

සමරවික්‍රම සහ අසලංක දෙදෙනා අතර පැවැති සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 78 කි. සමරවික්‍රමගේ පන්දු 77 ඉනිම හතරේ පහර 6 කින් අලංකාර වූ අතර තම පස්වැනි හතරේ පහරින් තරගය නිමාකළ චරිත් අසලංක, තමන් මුහුණ දුන් පන්දු 92 න් එකක් වයිඩ් මිඩ් ඕන් කලාපයට ඉහළින් නරඹන්නන් අතරටත් යැවීය. 

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් පළමුවෙන් පිතිහරඹය තෝරා ගත්තේය. එහෙත් දසුන් ශානක කීවේ වර්ෂාව පෙනෙන මානයේ තිබෙන බැවින් කාසියේ වාසිය අහිමිවීමම වාසියක් ද විය හැකි බවයි. 

කසුන් රාජිතගෙන් සහ මහීෂ් තීක්‍ෂණ දෙනොගෙන් ලැබුණේ කදිම ආරම්භයකි. 
මහීෂ් තීක්‍ෂණගේ දෙවැනි පන්දුවේදීම ටැන්සිඩ් හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී යාම නිසා බංග්ලාදේශය පසුපාදයට වැටිණ. එහෙත් නජ්මුල්  හොසේන්ට වාසනාව තිබුණේය. නජ්මුල් හොසේන් ලකුණු 02 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව මිඩ් ඕන් හි සිටි දසුන් ශානකගෙන් ගිළිහී යාමෙන් අනගි ප්‍රයෝජන ගත් වමත් පිතිකරුවා බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූයේ මුහුණ දුන් පන්දු 122 න් 7 ක් හතරේ සීමාවට යවමිනි. 

බංග්ලාදේශ ඉනිමේ ප්‍රහාරාත්මක ඕවර 10 නිමාවේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 34 ක් පමණි. නජ්මුල් සහ තව්හීද් රිදෝයි අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 59 ක සම්බන්ධතාව හැරෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ වෙනත් කිසිවක් නොතිබිණ. 
මතීෂ පතිරණ වයිඩ් පන්දුවකින් පන්දු යැවීම ආරම්භ කළද, ඔහුගේ පන්දු යැවීම කිසිසේත්ම හසුරුවාගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්ට නොහැකි විය. 

අන්ද මන්ද කළ පන්දුවකින් නායක සකිබ් අල් හසන්ව පිටියෙන් ඉවත් කළ මතීෂ, ටෙස්ට් තරග 86 කදීත්, එක්දින තරග 250 කත් අත්දැකීම් ඇති බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම්ට පන්දු යැවූයේ පාසල් පිතිකරුවකුට පන්දු යවන්නාක් මෙනි. මතීෂගේ ඉහළ නැඟි පන්දුවකට පිත්ත දැමූ රහීම් ‘ඩීප් තර්ඩ් මෑන්’හි සිටි දිමුත් කරුණාරත්නට පහසු උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. 

ඉනිමේ අඩක් නිමාවන විටත් බංග්ලාදේශයට ලබාගත හැකිවූයේ ලකුණු 97 කි. දුනිත් වෙල්ලාලගේ සිය ඕවර 5 ලකුණු 16 කට සීමාකරගෙන සිටිියේය. 

ධනංජය ද සිල්වා (35/1), මහීෂ් තීක්‍ෂණ (19/2), දුනිත් වෙල්ලාලගේ (30/1) සහ මතීෂ පතිරණ (32/4) හමුවේ නිරුත්තර වූ බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු ලබාගත නොහී මහත් අසරණව සිටියහ. පිතිකරුවන් තැතිගන්වන පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ පැයට කිලෝමීටර 143 ඉක්මවන වේගයක් වාර්තා කළේය. මතීෂගේ පන්දුවල පැවැති වේගය නිසාම අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ මහත් පළපුරුදු පිතිකරුවන් වන සකිබ් අල් හසන් (05) සහ මුෂ්ෆිකුර් රහීම් (13) අඩු ලකුණු වලට දැවී ගියහ. 

දසුන් ශානකගෙන් උඩපන්දුවක් ද, දුවද්දී දවාගැනීමේ අවස්ථා දෙකක් ද ගිළිහී ගිය නමුත් සමස්තයක් වශයෙන් ගත් කල්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීම ඉතා උසස් මට්ටමක තිබිණ. විශේෂයෙන්ම බංග්ලාදේශ පිතිකරුවන්ට තනි ලකුණු ලබාගැනීමට අවසර නොදීම නිසා ඔව්හු තව තවත් පීඩනයට ලක්වූහ. 

නජ්මුල් හොසේන් පිටියේ සිටියදී ලකුණු පුවරුව කඩුලු 6 කට 162 ක් ලෙසින් දිස්වූවද ලකුණු 02 ක් ඇතුළතදී අවසන් කඩුලු හතරම බිඳ වැටිණ. 


අදහස් (0)

කඩුලු 5 ක ජයකින් බංග්ලාදේශයට තලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.