Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
සිය 13 වැනි ඉනිමේදී පස්වැනි ටෙස්ට් ශතකයත් ලබාගනිමින් ටෙස්ට් ලකුණු 1000 කඩඉම පසුකර ගිය කමිඳු මෙන්ඩිස්ගේ අති විශිෂ්ට පිතිහරඹයත්, සෙසු පිතිකරුවන්ගේ නොමසුරු දායකත්වයත් නිසා ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළම මාලයකට පිවිස සිටී.
පළමු ටෙස්ට් තරගයේදී කළ අතපසුවීම් අකාමකා දැමූ ශ්‍රී ලංකා පිතිකරුවෝ, සාර්ථක සම්බන්ධතා වැලකට පසුව, දෙවැනි ටෙස්ට් තරගයේදී සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබාගත්හ.
තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලබා සිටියේ ලකුණු 22 කි. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ලකුණු නවසීලන්තය සිය මුල් ඉනිමේදී ලකුණු 403 ක් ලබාගත යුතුවන අතර ඒ සඳහා තවත් ලකුණු 381 ක් ලබාගත යුතුය.
නවසීලන්ත නායකයාගේ සියලුම තුරුම්පු අවසන් වී තිබිණ.
කුසල්ගේ ශතකයත් කමිඳුගේ 1000 කඩඉමත් අතර තිබුණේ ලකුණු 10 ක පරතරයකි. රචින් රවීන්ද්‍රගේ පන්දුවක් ගාලු කොටු පවුර ආසන්නයේදී හතරේ සීමාවට ඉහළින් යවමින් තම ලකුණු 1000 කඩයිම කරා අවතීර්ණ වූ කමිඳු මෙන්ඩිස්ගේ පහරත් සමගින් ශ්‍රී ලංකා ඉනිමත් අවසන් කරන ලදි.
ඒ වන විට කමිඳු සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 19 ක් මෑතින් සිටියද අද දිනයේදීම නවසීලන්තයේ කඩුලු කිහිපයක් බිම දමා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව විය.
හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මෙන්ඩිස්ලා දෙදෙනා, ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනකු විසින් නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී ගෙඩනැංවූ ඉහළම සම්බන්ධතාව සටහන් කළහ. අවස්ථා කිහිපයකදීම කමිඳු මෙන්ඩිස් දවාගැනීමට උත්සාහ කළ නවසීලන්ත ක්‍රීඩකයෝ විතීවි තීරණ සියල්ලම අවසන් කරගත්හ. නවසීලන්තයේ තුන්වැනි විතීවි අවස්ථාව ගිළිහී යන විට කමිඳු ලකුණු 156 ක් ලබා සිටියේය.
සිය 13 වැනි ටෙස්ට් ඉනිමේදීම පස්වැනි ශතකය ලබාගත් කමිඳු මෙන්ඩිස්, ලෝකයේ අසහාය පිතිකරුවා ලෙසින් සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තැබූ වාර්තාවක් සම කළේය. කමිඳුට සහ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට වඩා අඩු ඉනිම සංඛ්‍යාවකින් පස්වැනි ටෙස්ට් ශතකය ලබා ඇත්තේ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් (10), එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් (12) සහ ඕස්ට්‍රේලියානු පිතිකරු නීල් හාවි (12) තිදෙනා පමණි.
කෙසේ වෙතත් ආසියානු පිතිකරුවන් අතර අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් පස්වැනි ශතකය ලබාගත් පිතිකරුවා වන්නේ කමිඳු මෙන්ඩිස්ය. සෙසු ආසියානු පිතිකරුවන් අතර අඩුම ඉනිම සංඛ්‍යාවකින් පස්වැනි ශතකය ලබාගෙන ඇත්තේ සිය 22 වැනි ටෙස්ට් ඉනිමේදී ඒ හපන්කම කළ පාකිස්තානු ජාතික ෆවාඩ් අලාම්ය.
ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 02 දී බිඳ වැටිණ. එහෙත් එතැන් සිට පැවැති කඩුලු අතර සම්බන්ධතා සටහන් වූයේ 122, 97, 107, 74 ක් සහ 200 ක් ලෙසිනි.
මැතිව්ස් (88) මෙන්ම ධනංජය ද සිල්වාත් (44) දැවී ගියේ එකම උගුලට හසුවීමෙනි. ඔවුන් දෙදෙනාගේම පිට ඉන්න පැත්තේ පිටිය සම්පූර්ණයෙන්ම විවෘත කළ නවසීලන්ත නායකයා පිට ඉන්න පැත්තේ රැඳවූයේ පන්දු රකින්නන් තිදෙනකු පමණි. ඒ වෙනුවට පා ඉන්න පැත්තෙන් පන්දු රකින්නන් 6 දෙනකු රඳවා පන්දුව දඟකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ ලෙසින් ලකුණු ලබාගන්නා ලෙස නවසීලන්ත නායකයා පිතිකරුවාට අභියෝග කළේය.
පා ඉන්න පැත්තේ පන්දු රකින්නන් 6 දෙනකු සිටියද ස්වීප් පහර ගැසීමට උත්සුක වූ ශ්‍රී ලාංකික පිතිකරුවෝ දෙදෙනාම පිත්තේ දාරයේ වැදී ඉහළ ගිය උඩපන්දු දෙකකින් දැවී ගියහ.
දෙවැනි නව පන්දුවෙන් ඕවර 20 ක් යැවූ පසුව (100 වැනි ඕවරයේදී) පන්දුවේ හැඩය වෙනස්වීම නිසා එය මාරු කරන ලද නමුත් එයින් නවසීලන්ත පන්දු යවන්නන්ට ලබාගත ප්‍රයෝජනයක් නොවීය.
අද උදෑසන 7.30 ට පමණ ධාරාණිපාත වර්ෂාවක් ගාල්ලට කඩාහැළුණ නමුත් නියමිත වේලාවට තරගය ආරම්භ කරගත හැකිවන පරිදි, පෙරවරු 9.30 ට ක්‍රීඩාංගණය සූදානම් කරගැනීමට ක්‍රීඩාංගණ සේවකයෝ සමත් වූහ. ලෝකයේ ඕනෑම ක්‍රීඩාංගණයක සේවය කරන ක්‍රීඩාංගණ සේවකයන් අතුරින් වඩාත්ම කාර්යක්ෂම සේවක පිරිස තමන් බවත්, ඉතාමත් කෙටි කාලයකින් සම්පූර්ණ පිටියම වසා දමා නැවත විවෘත කරගැනීමට හැකියාව ඇත්තේ තමන්ට බවත් ඔව්හු අද දිනයේදීත් පෙන්නුම් කළහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.