Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ආයතනයේ දූෂණ හොයන්න අර්ජුන ජනාධිපති කොමිසමක් ඉල්ලයි

ක්‍රිකට් ආයතනයේ දූෂණ හොයන්න අර්ජුන ජනාධිපති කොමිසමක් ඉල්ලයි

editorial - 2023 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2015 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා විගණන අකටයුතුකම් සෙවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනාධිපති විමර්ශන කොමිසමක් ඉල්ලා සිටීමට තමන් අපේක්ෂාවෙන් සිටින බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉතා නුදුරේදීම තමන් ජනාධිපතිවරයා මුණගැසෙන බවත් එහිදී එම ඉල්ලීම ඉදිරිපත් කරන බවත් අර්ජුන රණතුංග මහතා පැවසුවේ කොළඹ දී කැඳවෙන ආසියා ශාන්තිකර තහනම් උත්තේජන නිවාරණ සමුළුව පිළිබඳ පෙරේදා (7) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දෙමින් අර්ජුන රණතුංග මහතා මෙසේ ද පැවසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගවලට යන්න අපෙන් කිසිම බාධාවක් නෑ. නමුත් දවසට ඩොලර් 700 ගානේ ගෙවීම් අරගෙන සැප ගන්න රට යන නිලධාරීන්ට ජාතික ක්‍රීඩා සභාවෙන් ඉඩක් නෑ.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග සංචාරයේ නිලධාරීන් වෙනස් කරන්න ජාතික ක්‍රීඩා සභාව මැදිහත් වුණේ නෑ. තේරීම් මට අයිති රාජකාරියක් නොවේ. ඒක කරන්නේ ජාතික තේරීම් කමිටුවයි. හැබැයි වියදම් හදාගෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ක ‘‘ටුවර්’’ කරන්න යන නිලධාරීන් අපි පාලනය කරන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

ක්‍රිකට් ආයතනයේ කටයුතු ක්‍රීඩා ඇමැතිවරයා සොයා බැලීම දේශපාලන බලපෑමක් වෙන්නේ නෑ. පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළා. දකුණු අප්‍රිකාවෙත් එහෙම ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කළා. එහෙම වුණා කියලා අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද වෙන තුරු ඒ රටවල්වලට දේශපාලන අතපෙවීම් කියලා චෝදනා එල්ල කරලා නෑ.

ලංකාවෙ වෙලා තිබෙන්නේ මාධ්‍යයන් කීපයකුත් එකතු කරගෙන කට්ටියක් රටේ ක්‍රිකට්වලට දේශපාලන අතපෙවීම් කියලා බිල්ලෙක් මවමින් ඉන්නවා. එහෙම කිසිම දේශපාලන බලපෑමක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා නෑ.

ක්‍රිකට් ආයතනයත් රටේ නීතියට යටයි. එහෙම නම් ඒ අය කෝප් කමිටුවට උත්තර දෙන්න එන්නේ ඇයි? අද ක්‍රිකට් විධායක සභාවේ ජාතික මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව කළ අය ඉන්නේ එක්කෙනෙක් විතරයි.

කවුරු මොනවා කියන්න ආවත් ඇෆ්ගනිස්ථානය වගේ රටකට ශ්‍රී ලංකාව අද පරදිනවා නම් එතන අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලියි. අපි 1996දී ලෝක කුසලාන දිනාගෙන රටට හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාව අද රටේ දකින්න නෑ.

ඒ වෙනුවට ඩොලර් 700 ගණන් ගෙවීම් අරන් බුරුතු පිටින් නිලධාරීන් රට යන ක්‍රිකට් ක්‍රීඩාවක් තමයි අද රටේ තිබෙන්නේ. ක්‍රීඩා සභාවේ මම සභාපති වෙලා ඉන්නකන් මේවාට එරෙහිව කටයුතු කරනවා.


අදහස් (0)

ක්‍රිකට් ආයතනයේ දූෂණ හොයන්න අර්ජුන ජනාධිපති කොමිසමක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.