Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් පිටිය හැඩවැඩ කළ මොණරි

ක්‍රිකට් පිටිය හැඩවැඩ කළ මොණරි

editorial - 2024 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී සනත් ජයසූරිය, එංගලන්ත පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙන විට චමරි ජයාංගනී අතපත්තු යන්තම් අවුරුදු හයක පුංචි කෙල්ලකි. පිලිප් ඩිෆ්‍රෙයිටාස්, රිචඞ් ඉලිංවර්ත් (වත්මන් ටෙස්ට් විනිසුරු) සහ ග්‍රේඒම් හික් තුන් දෙනාටම දවල් තරු පෙනෙන්නට සනත් පහර දුන් ආකාරය, මාමලාගේ ගෙදර රූපවාහිනී තිරයෙන් ඇය ඇස් නොපියා බලා සිටියාය. 

ඕස්ට්්‍රලියාවට එරෙහිව පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගය දිවා/රාත්‍රී තරගයකි. මාමාලාගේ ගෙදර සිටියද තරගය නැරඹමින් සිටි චමරිට ටිකක් නින්ද ගියේය. ඇයව ගෙදර එක්කරගෙන යාමට අප්පච්චි එන විටත් නිදා සිටි චමරි, අප්පච්චිත් එක්ක ආපසු ගෙදර ගියේ අරවින්දගේ ශතකයත්, ලෝක කුසලාන ජයග්‍රහණයත් දෙකම සිත්පුරා දැකගැනීමෙන් පසුවය. 

එදා චමරිගේ ලෝකයේ වීරයන් වූ සනත් සහ අරවින්ද දෙදෙනාම, පසුගිය 15 වැනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැති චමරි අතපත්තු අගැයීමේ උළෙලේදී ඇය සමගින් එකම වේදිකාවේ අසුන්ගෙන සිටියහ. 

“1996 දි ලෝක කුසලාන දිනාගත්ත, මගේ සදාකාලික වීරයෝ කට්ටියක් හිටියා. ඒ අයගෙන් දෙන්නෙක් එක්ක අද එකම වේදිකාවේ මමත් ඉන්නවා. ඒක හරිම ආඩම්බරයක්.”

“මම හීන දැක්කේ කවදා හරි සනත් අයියා වගේ සෙල්ලම් කරන්න. ඉතින් ඒ දෙන්නත් එක්ක එකම වේදිකාවේ වාඩිවෙන්න ලැබීමත් මම ලබපු භාග්‍යයක් හැටියට සලකනවා” යයි පසුගිය බදාදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී ඇය පැවසුවාය. 

චමරිත් සනත් මෙන්ම වමත්කාරියෙකි 

සනත් ‘වමත් කස කාරයා’ ය. චමරි ‘වමත් කසකාරිය’ පමණක් නොවේ තරමක කටකාරියක ද වන්නීය. ඇයගේ වට්ස් ඇප් අංකයට ඇතුළත් කර ඇති ඡායාරූපයේ අපූරු කියමනක් තිබේ. 

“මොනවා හරි කරන්න බෑ කියලා කව්රුහරි කියනවා නම්, ඒ ‘බැහැයි’ කියන දේ කරලා පෙන්නවන පළමු කෙනා ඔබ වෙන්න.....” චමරි කියන්නේ එහෙමය.  

“මේක ගොඩාක් අමාරුවෙන් ආපු ගමනක්. මාමා නිසා තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට ආවේ. මේ වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කරන්නත් සිද්ධ වුණා. ක්‍රිකට් අතහරින්න හිතුණු වෙලාවලුත් තිබුණා. ඒත් ඒ වෙලාවල අම්මයි අප්පච්චියි දෙන්නාම මගේ ළඟින් හිටියා.” යයි චමරි අතපත්තු කීවාය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු ද වන අරවින්ද ද සිල්වා මෙම උත්සවයේදී කියා සිටියේ ලෝකයේ අංක 1 ස්ථානය හිමිකරගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වශයෙන් චමරිගෙන් විශාල ප්‍රයෝජනයක් ගත හැකි බවයි. 

“මමත් ක්‍රිකට් ගහන කාලේ මටත් හිටියා ක්‍රිකට් වීරයෝ කීප දෙනෙක්. අනුර තෙන්නකෝන්, දුලිප් මෙන්ඩිස් සහ රෝයි ඩයස් වගේ අය. ඕනම රටක ක්‍රීඩාවක් ජනප්‍රිය කරන්න නම් ඒකට වීරයෙක් ඕනේ”

“දැන් චමරි ලෝකයේ අංක 1 ක්‍රීඩිකාව වෙලා තියෙනවා. ඒ දස්කම ලේසි පහසු එකක් නෙමේ. මොකද අවුරුදු සිය ගණනක් ක්‍රිකට් ගහපු රටවල්වල අයත් එක්ක තරග කරලා තමයි චමරි ඒ තැන අරන් තියෙන්නේ. ඒ හින්දා, ඇය ලබාගත් මේ කීර්තිය ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි යොදාගන්න ඕනේ” යයි අරවින්ද ද සිල්වා පැවසීය. 

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ශ්‍රී ලංකාව පුරා රැල්ලක් මෙන් පැතිරී යන්නකි. බාලිකා පාසල් අතර මහ ක්‍රිකට් තරග ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිද්දී, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් අන්තර් සමාජ තරගාවලි පමණක් නොව, ජාතික සුපිරි ලීත් තරගාවලිත් පැවැත්වෙයි. වෘත්තීමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව 180 ඉක්මවයි. ඒ සියලු දෙනාටම සනත් ජයසූරිය දුන්නේ අපූරු පණිවුඩයකි. 

“මේක චමරි ගොඩාක් අමාරුවෙන් ආපු ගමනක ප්‍රතිඵලයක්. එයා ගොඩක් දුෂ්කර ක්‍රියා කළා. තනියම පුහුණුවීම් කළා. තනියම අභ්‍යාස කරන්නත් ඇති.. ශාරීරික යෝග්‍යතාව පවත්වාගන්න ව්‍යායාම කරන්නත් ඇති.... මේ හැම දෙයක්ම එයා කළේ එක තැනකට එන්න. එයාට උවමනාවක් තිබුණා එතැනට එන්න”

“ඉතිං මම හිතන්නේ අනෙක් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් චමරි හොඳ ආදර්ශයක්. මේ වගේ මහන්සි වුණොත්, උනන්දු වුණොත් ඕනම කෙනෙකුට එතැනට එන්න බැරි නෑ. ඒකට අවශ්‍ය ක්‍රමවේදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සකස් කරලා තියෙනවා” යයි සනත් ජයසූරිය කීවේය. 

එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ අංක අකේ පිතිකාරිණිය වූ මුල්ම ශ්‍රී ලාංකික කාන්තාව වන චමරි අතපත්තුගේ දස්කම් ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ මෙම සුවිශේෂී උත්සවයට ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ලේකම් ගොඞ්ෆ්‍රි දබරේරා යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් පැමිණ සිටියහ. එහිදී ශම්මි සිල්වා සහ ගොඞ්ෆ්‍රී දබරේරා යන මහත්වරුන් විසින් චමරි අතපත්තු වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි. 

සුප්‍රකට මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා විසින් “චමරි - මොණරි” යනුවෙන් නවතම ගීතයක් ද නිර්මාණය කර තිබිණ. 

චමරි අතපත්තු, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ දක්‍ෂ ක්‍රීඩිකාවක වන ඉමේෂා දිල්රුක්‍ෂිට ක්‍රීඩා උපකරණ රැසක් ද පිරිනැමුවාය. හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි. 


(ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


අදහස් (0)

ක්‍රිකට් පිටිය හැඩවැඩ කළ මොණරි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.