Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයෝ 8 ක් ජාතික සුපිරි ලීගයට පස්ස හරවති

ක්‍රීඩකයෝ 8 ක් ජාතික සුපිරි ලීගයට පස්ස හරවති

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතවලට ඇතුළත්ව සිටින ජාත්‍යන්තර වරම් දිනා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 8 දෙනෙක් මේ වන විට එම තරගාවලියට සහභාගි වීමෙන් වැළකී, පෞද්ගලික හිමිකාරීත්වයන් දරන කණ්ඩායම් ක්‍රීඩා කරන විදෙස් විස්සයි-20 ලීගවලට සහභාගි වෙමින් සිටිති. 

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 22 ක ක්‍රීඩකයන් 550 ක් සහභාගී වීම හේතුවෙන් ජාතික කණ්ඩායම තේරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට මුහුණදීමට සිදුවන ගැටලු අවම කරගැනීම සඳහා මෙම ජාතික සුපිරි ලීග් තරගාවලිය සංවිධානය කරනු ලබයි. 

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වන දස්කම්වලට අනුව ඊට සහභාගි වන කණ්ඩායම්වලින් ක්‍රීඩකයන් 125 දෙනෙක් තෝරාගෙන ඔවුන් 25 දෙනා බැගින් ගාල්ල, දඹුල්ල, යාපනය, මහනුවර සහ කොළඹ ලෙස කණ්ඩායම් 5 කට වෙන්කර මෙම ජාතික සුපිරි ලීග තරගාවලිය සංවිධානය කරයි. 

එහිදී වැඩි දුරටත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා මෙන්ම දුර්වලතා කෙරහිද සියුම් ලෙස අධ්‍යනයක නිරත වීමෙන් අනතුරුව තේරීම් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් තෝරා ගනු ඇත. කෙසේ වුවත් මෙම තරගාවලිය පැවැත්වෙන අතරතුර ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් බොහොමයක් පෞද්ගලික හිමිකාරීත්වයන් දරන කණ්ඩායම් ක්‍රීඩා කරන විදෙස් විස්සයි-20 ලීගවලට සහභාගි වීම ගැටලුවක් බවට පත්ව තිබේ.  

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 20 දෙදෙනෙකු පෞද්ගලික හිමිකාරීත්වයන් දරන කණ්ඩායම් ක්‍රීඩා කරන විදෙස් විස්සයි-20 ලීගවලට සහභාගි වී සිටින අතර ඉන් 8 දෙනෙක් ජාතික සුපිරි ලීග තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. ඔවුන් මේ වන විට විදෙස් විස්සයි-20 ලීගවලට සහභාගි වී සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද අනුමැතිය ඇතිව වීම කණගාටුවට කරුණකි. 

ඔවුන් අතරින් ගාල්ල කණ්ඩායමේ උප නායකයා ලෙස නම් කර ඇති දුනිත් වෙල්ලාලගේ මේ දින වල බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ෆෝචූන් බරිසාල් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියි. ගාල්ල කණ්ඩායමට ඇතුළත්ව ළහිරු සමරකෝන්ද ඩර්ඩැන්ටෝ ඩකා කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව ගොස් ඇත. 

ඔහුට අමතරව කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින දසුන් ශානක සහ අවිෂ්ක ප්‍රනාන්දු පිළිවෙලින් කුල්නා ටයිටන්ස් සහ චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම් නියෝජනය කරමින්ද, දඹුල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටින දුෂාන් හේමන්ත සහ ලසිත් කෲස්පුල්ලේ පිළිවෙලින් ශිලාත් ස්ට්‍රයිකර්ස් සහ ඩර්ඩැන්ටෝ ඩකා කණ්ඩායම් නියෝජනය කරමින්ද බංග්ලාදේශ පිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටිති. 

මහනුවර කණ්ඩායමට ඇතුළත්ව සිටින නිරෝෂන් දික්වැල්ල සහ ගාල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටින ඩිල්ෂාන් මධුෂංක මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි-20 ලීගයට සහභාගි වෙමින් සිටින ක්‍රීඩකයෝ වෙති. එහිදී දික්වැල්ල සජා වොරියර්ස් කණ්ඩායමටත්, මධුෂංක ඩෙසට් වයිපර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරති. මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම මේ දක්වා පැවැති ජාතික සුපිරි ලීගයේ එක් තරගයකට හෝ ක්‍රීඩා නොකළ ක්‍රීඩකයෝ වෙති. 

කොළඹ කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, ජාත්‍යන්තර විස්සයි-20 ලීගයේ සජා වොරියර්ස් කණ්ඩායමටද, කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටින කසුන් රාජිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයේ කුල්නා ටයිටන්ස් කණ්ඩායමටද තෝරා ගෙන තිබූ නමුත් ඔවුන් ඊට සහභාගි නොවෙමින් ජාතික සුපිරි ලීගයට ක්‍රීඩා කරන අයුරු දැකගත හැකි විය. 

ඔවුන් දෙනොට අමතරව යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ උප නායක සධීර සමරවික්‍රමද බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කුල්නා ටයිටන්ස් සහ ඩර්ඩැන්ටෝ ඩකා කණ්ඩායම්වලට තේරී සිටියද එම අවස්ථා ප්‍රතික්ෂේප කරමින් ජාතික සුපිරි ලීගය ක්‍රීඩා කරමින් සිටීම පැසසිය යුත්තකි. 

එම ක්‍රීඩකයන් හැරුණුකොට භානුක රාජපක්ෂ (ඩර්බන් සුපර් ජයන්ට්ස්) සහ නුවන් තුෂාර (එම්.අයි. කේප් ටවුන්) දකුණු අප්‍රිකානු විස්සයි20 ලීගයටද, මහීෂ් තීක්ෂණ (සජා වොරියර්ස්), දුෂ්මන්ත චමීර (ඩුබායි කැපිටල්ස්), කුසල් ජනිත් (එම්.අයි. එමිරේට්ස්), වනිඳු හසරංග සහ මතීෂ පතිරණ (ඩෙසට් වයිපර්ස්) ජාත්‍යන්තර විස්සයි-20 ලීගයටද, ධනුෂ්ක ගුණතිලක (ඩර්ඩැන්ටෝ ඩකා) බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයටද ක්‍රීඩා කරති. 

කෙසේ වුවත් එම ක්‍රීඩකයන් ජාතික සුපිරි ලීගය සඳහා නම් කර ඇති කණ්ඩායම්වලට ඇතුළත්ව නොමැති බැවින් ඔවුන් විදෙස් විස්සයි-20 ලීග සඳහා සහභාගි වීම පිළිබඳව වරදක් කිව නොහැකිය. ඔවුන් ජාතික සුපිරි ලීගය සඳහා තෝරා නොගැනීමට හේතුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තේරීම් කටයුතු සඳහා තේරීම් කමිටුව එම ක්‍රීඩකයන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන නිසා වන්නට පුළුවන. 

එහෙත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඉලක්ක කරගෙන සිදුකරනු ලබන තේරීම් කටයුතු සඳහා පාදක කරගන්නා ජාතික සුපිරි ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායම්වලට ඇතුළත් ක්‍රීඩකයන් එම තරගාවලිය මඟ හරිමින් විදෙස් විස්සයි-20 ලීග සඳහා සහභාගි වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්, එය ජාතික වගකීම පැහැර හැරීමක් බවත් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ පවසති. 

පෙබරවාරි මස 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන අතර ඉන් අනතුරුව මාර්තු මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තවත් ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කිරීමට නියමිතය. එවන් වකවානුවක විදෙස් විස්සයි-20 ලීගයන්ට සහභාගි වීම විනා ජාතික සුපිරි ලීගය ක්‍රීඩා කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මනා පෙරහුරුවක් ලබාගැනීමට තිබූ බවද ප්‍රවීනයේ පෙන්වා දෙති. 

මේ වන විට ජාතික සුපිරි ලීගයේ මූලික වටයේ තරග 4 ක් නිමාවට පත්ව ඇති අතර මීළඟ තරග 2 පෙබරවාරි මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත්, කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

ක්‍රීඩකයෝ 8 ක් ජාතික සුපිරි ලීගයට පස්ස හරවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.