Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝටි 29 න් විස්තර ඇත්තේ කෝටි 8 ක පමණයි

කෝටි 29 න් විස්තර ඇත්තේ කෝටි 8 ක පමණයි

editorial - 2023 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 289 ක (කෝටි 28.9) මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය පරස්පර විරෝධී වාර්තා ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ඒ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, පරස්පර විරෝධී වාර්තාවන්ගෙන් වඩාත් නිවැරදි වාර්තාව කුමක්ද යන්න සහතික කරන ලෙසත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේසන් මහතා වෙත පසුගිය සිකුරාදා (24 වැනිද) ලිපියක් යවමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා ඉල්ලා සිටියේය. 

තොරතුරු දැනගැනීමේ පනත අනුව, ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාගත් තොරතුරු මත, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දී තිබෙන වාර්තාවෙන් රුපියල් අට කෝටි හැටහත් ලක්‍ෂයකට (8,67,06,744 ක්) වැඩි මුදලක් වියදම් කරන ලද ආකාරය විස්තර කර තිබේ. එහෙත් ක්‍රීඩා අමාත්‍යංශයෙන්ම නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව ඉදිරිපත් කර ඇත්තේ රුපියල් තුන් කෝටි අනූහය ලක්‍ෂයකට (3,96,72,036 ක්) වැඩි මුදලක් සම්බන්ධ විස්තරයකි. 

මෙම ප්‍රකාශ දෙක අතර රුපියල් හාර කෝටි හැත්තෑ ලක්‍ෂ තිස් හතර දහස ඉක්මවූ (4,70,34,708 ක්) පරස්පරයක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුව විමසා සිටින්නේ මෙම ප්‍රකාශ දෙකින් වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක් ද යන්නයි. 

ඒ අතරම රුපියල් මිලියන 289 ක් හෙවත් රුපියල් කෝටි 29 කට ඉතාම ආසන්න මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කර ඇති බැවින් ඒ සම්බන්ධව පැහැදිළි විස්තරයක් සපයන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටී. 

“ජාතික ක්‍රීඩා අරමුදල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා දුන් අරමුදල් පිළිබඳව අවස්ථා ගණනාවකදී ඔබ වෙතින් සවිස්තාරාත්මක වාර්තාවක් ඉල්ලා සිටියද, එවැනි වාර්තාවක් නොලැබුණ බව කණගාටුවෙන් දන්වා සිටිමි”

“නමුත් 2023.11.11 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව ඔබ අමාත්‍යංශයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සහ ඊට අමුණා ඇති ගිණුම් වාර්තාවේ සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා විසින් ඉල්ලුම් කරන ලද ලිපිය මත පදනම්ව, ඔබ අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති ගිණුම් වාර්තා පරස් පර විරෝධී බව ද බැලූ බැල්මටම පෙනී ගොස් ඇත” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් උප ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වරයාට දන්වා යවා තිබේ. 


අදහස් (0)

කෝටි 29 න් විස්තර ඇත්තේ කෝටි 8 ක පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.