Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි.... මේ ටිකත් මතක තියාගන්නවා හොඳයි

කෝලි.... මේ ටිකත් මතක තියාගන්නවා හොඳයි

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

 (ආනන්ද වාසු විසිනි)   

‘ක්‍රිකට් ප්‍රේමීන්’ යයි තමන් විසින්ම හඳුන්වාගනු ලබන්නා වූ ‘එක්ස්’ සමාජ ජාලයේ නැතහොත් ‘ඉන්සටග්‍රෑම්’ සමාජ ජාලයේ සාමාජිකයෝ “සුනිල් ගවස්කාර් කියන්නේ කවුද?” කියා අසති. එපමණක් නොව, “විස්සයි-20 ක්‍රිකට් ගැන කතා කරන්නට සුනිල් ගවස්කාර්ට අයිතියක් නැතැයි” ද කියති. මේ අද අප ජීවත් වන කාලයේ තාලයයි. 

1971 දී බටහිර ඉන්දීය දූපත් සමූහයේ කළ සංචාරයේ සිට 1987 බෙංගලූරු ටෙස්ට් තරගය දක්වා සුනිල් ගවස්කාර් (ටෙස්ට් ලකුණු 10,000 කඩඉම පසුකළ පළමුවැන්නා - 1987 දී) ක්‍රීඩකයෙකු ලෙස අත්පත් කරගත් ජයග්‍රහණත්, ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහු දැරූ තනතුරු මෙන්ම ක්‍රිකට් විස්තර කථකයකු ලෙසින් ඔහුගේ ජීවිතය ගැන ලියන්නට යාමත් නිෂ්ඵල ක්‍රියාවකි. මක්නිසාද යත් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සුනිල් ගවස්කාර්ට අයිතිවාසිකමක් නැතැයි විශ්වාස කරන අය, තමන්ගේ අදහස් වෙනස් කිරීමට සූදානම් නැති බැවිනි. 

තම තමන්ගේ අත්තනෝමතික අදහස් සමාජ ජාල ඔස්සේ පතුරුවාහැරීමට තරම් හිතුවක්කාර වන උදවිය හමුවට සත්‍ය කරුණු ගෙනහැර දක්වමින් මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කෝප ගැන්වීමට උත්සාහ කරන්නේ ඇයි ?
ගවස්කාර් පිතිහරඹය ගැන, විශේෂයෙන්ම ක්‍රිකට් ගැන, දන්නා දෙයක් නැතැයි කීම ඔවුන්ගේ පැත්තෙන් හරි යයි සිතෙන්නට පුළුවන. එහෙත් ක්‍රිකට් ලෝලීන්ගේ ජාතියක් ලෙස උදම් අනන රටක් (ඉන්දියාව) මේ තත්ත්වයට පත්වන්නේ කෙසේද යන්න නම් ප්‍රශ්නයකි. 

නිර්නාමිකව අන් අයට පහර දීමටත්, තමන්ගේ පාඩුවේ ජීවත්වන කිසියම් පුද්ගලයකුට හෝ සංවිධානයක් පසුපස හඹා යමින් නොනවතින මෙන්ම අනුකම්පා විරහිත පහරදීමක යෙදෙන ‘අන්තර්ජාල මැර කල්ලි’ සංවිධානය කිරීමටත් සමාජ මාධ්‍ය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති බව නම් නොරහසකි. 

වඩාත්ම කනස්සල්ලට කාරණාව වන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ග්‍රහණය කරනිමින් සිටින ක්‍රිකට් රසික රසිකාවියන්ගේ දුෂ්ඨ සංස්කෘතියයි. ඔවුන්ගෙන් කෙනෙක් විරාට් කෝලිගේ රසිකයෙක් විය හැකිය. ඔවුන් කෝලිට පක්ෂපාතීත්වය ඔප්පු කරන්නේ රෝහිත් ෂර්මාට කුණුහරුපයෙන් බැණීමෙනි. රෝහිත් ෂර්මාගේ පැත්තේ අය, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇති හර්දික් පාණ්ඩ්‍යාට හූ හඬින් පරිභව කරමින්, තමන්ගේ පක්‍ෂපාතීත්වය රොහිත්ට පෙන්වීමට උත්සාහ කරති. 

සමහර අවස්ථාවලදී, විශේෂයෙන් පිටියේ රැස්වන සෙනඟ සිය අශෝභන චර්යාවන් ප්‍රදර්ශනය කරන, තවත් ඉන්දියානුවෙකුට නැතහොත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකුට හිරිහැර කරන,  අවස්ථාවකදී වුවත් සන්සුන් වන ලෙස ක්‍රීඩකයෝම ආයාචනා කරති. එහෙත් අන්තර්ජාලය ඔස්සේ එය සිදුවන්නේ කලාතුරකිනි.
මෙහි අලුත්ම ජවනිකාව කෝලි-ගවස්කාර් ගැටුමයි. එය ඇවිළී ගියේ කෝලි කළ ප්‍රකාශයකිනි. 

අඩුතරමේ අවුරුදු 15 ක් වත් අයි.පී.එල්. තරගවලට සහභාගි වෙලා නැත්නම්, තමන්ගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) පිළිබඳ අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු යයි කෝලි කීවේය. එය තරමක් විවාද සම්පන්න කතාවකි. 

ඇත්ත ඇති සැටියෙන් ගතහොත්, යුද ගැටුම් ගැන වාර්තා කරන අය කිසි විටෙකත්, ගිනි අවියක් අතැතිව, යුද පෙරමුණේ ඉදිරි ආරක්‍ෂක වලල්ලේ සිටගෙන නැත. ව්‍යාපාරික තොරතුරු පිළිබඳ වාර්තාකරුවන් අනිවාර්යයෙන්ම ව්‍යවසායකයින් හෝ ආයෝජකයන් විය යුතු නොවේ. සිනමා විචාරකයින්ගේ නම් ඉදිරියෙන් ‘ඔස්කාර්’ සම්මාන ලැබූ බවක් සටහන් වන්නේ ද නැත. 

මේ කතාකරන්නේ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති ප්‍රවීණයන් සම්බන්ධයෙනි.
 
ක්‍රිකට් විස්තර විචාරකයින්ගෙන් 99% ක් පමණ දෙනා ඉහළම මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කර තිබේ. එහෙත් දැන් ඔවුන්ව හඳුන්වන්තේ “බාහිර ශබ්ද” ලෙසිනි. වඩාත් විස්තරාත්මකව කිවහොත්, ඉන්දියානු ක්‍රීඩකයෙකු “බාහිර ශබ්ද” යයි සඳහන් කරන සෑම අවස්ථාවකදීම ඔහු කතා කරන්නේ කණ්ඩායම් බුබුලෙන් පිටත සිටින අයකුගේ මතය ගැනය. 

ක්‍රීඩකයින් අවධාරණය කරන්නේ තමන් එම “බාහිර ශබ්ද” හෙවත් පිටස්තර අය කියන දේ කෙරෙහි අවධානය යොමු නොකරන බවයි. මක්නිසාද යත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාව පිළිබඳ විවේචනයක් ඇති වූ වහාම මෙම ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපය බිඳී යන බැවිනි. 

මේ වන විට ලෝකයේ ඉදිරියෙන්ම සිටින, දැවැන්ත ප්‍රතිරූප හිමි, ක්‍රීඩකයන් සමඟ කතාබහ කරන්නේ නම්, ඔවුන්ගේ හිතවතුන් මෙන්ම අන්තර්ජාල අනුගාමිකයක් විසින් මෙම ක්‍රීඩකයන් දේවත්වයට පත් කිරීමට උත්සාහ ගන්නා බවට හැඟීමක් ඔබට ලැබෙනු ඇත. මුහුණක්, ශරීර කූඩුවක්  හෝ ආත්මයක් නැති මෙම අනුගාමිකයින්ගේ උත්සාහය වන්නේ අන්තර්ජාලය ඔස්සේ අති විශාල අවධානයක් ජනනය කරමින් ක්‍රීඩකයන්ගේ ‘එක්ස්’ හෝ ‘ඉන්ස්ටග්‍රෑම්’ ගිණුම් වෙත පිවිසෙන වාර ගණන වැඩිකර ගැනීමය. මෙම රසික ආකර්ෂණය පසුපස ඇත්තේ විවිධ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ගනු ලබන උපායමාර්ගයකි. ඒ සඳහා විවිධ සමාගම් විසින් ක්‍රීඩකයින්ට අධික මුදලක් ගෙවනු ලැබේ.

කීර්තිමත් පුද්ගලයෙක් මෙන්ම ජනකාන්ත ‘තරුවක්’ වීමේ වරප්‍රසාද කෝලි භුක්ති විඳිනවා නම්, තමන් ප්‍රසිද්ධ චරිතයක් ලෙස ඉඳහිට යම් යම් විවේචනයන්ටත් මුහුණ දියයුතු බවත් ඔහුට වැටහෙන්නේද ?
ඇතැම් විට කෝලි ඊට සූදානම් විය හැකිය. එහෙත් ඔහු එය පිළිගැනීමට සූදානම් නැත. ඒ කෙසේ වෙතත්, කෝලි මෙන්ම ඔහු වැනි අනෙකුත් ක්‍රීඩකයෝත් තමන් විවේචනයට මුහුණ දියයුතු බව වටහා ගැනීම යහපති. 

මිලියන 268 ක ජනතාවක් අනුගමනය කරන කෝලිගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ ගිණුමේ රැවුල කපන යන්ත්‍රයේ සිට වතුර බෝතල්, නැතහොත් සූට්කේස් දක්වා සියල්ලම විකිණීමට තිබේ. තමන්ගේ අනුගාමිකයන් රොත්තට කිසියම් පණිවුඩයක් දීමට අවශ්‍ය වූ විටෙකදී කෝලිට අවශ්‍ය වන්නේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් පළ කිරීම පමණි.
ඒත් තමන් ඉපදුනේ එයාගේ හැම වචනයකම එල්ලිලා ඉන්න මිලියන 268 ක ජනතාවක් එක්ක නොවන බවත් කෝලි මතක තියාගන්නවා නම් හොඳයි. 

දිල්ලියෙන් දුර ඈත, දූවිල්ලෙන් පිරුණු ‘බී’  කාණ්ඩයේ පිට්ටනියකට වී, වයස් කාණ්ඩ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙමින් සිටි කෝලි ලකුණු ලබාගත් ආකාරය ගැන ලෝකයාට කීවේ පුවත්පත් ය. ඉඳහිට කෝලිගේ ඡායාරූපයක් ද ඊට එකතු විය. කෝලිට වයස අවුරුදු 18 දී, ඔහුගේ පියා අහිමි වූ විටත්, නැවත පිටියට පැමිණි කෝලි ‘රේන්ජ් කුසලාන’ තරගයකදී කර්නාටකයට එරෙහිව ශතකයක් ලබා ගනිමින් කළ වික්‍රමාන්විත ඉනිම ගැන ලොවට කීවේ ද පුවත්පත්, වෙබ් අඩවි සහ රූපවාහිනී නාලිකා වාර්තාකරුවන් ය.

දිවි පෙවත ගෙවාගැනීම වෙනුවෙන් දවා රෑ නිදි නොලැබ වෙහෙසෙන අසංඛ්‍යාත මිනිසුන් අතරේ, ජාත්‍යන්තර තරුවක් ලෙසින් කීර්ති ප්‍රශංසා මෙන්ම අප්‍රමාණ ධනයෙන් ආඩ්‍යව, දිවිගෙවන ක්‍රිකට් ක්‍රීඩකයෝත් සමාජ මාධ්‍ය නම් හිස් අවකාශය තුළ සිටිති. මෙම ක්‍රීඩකයන් සතු ස්වාභාවික දක්‍ෂතා නිසාම ඔවුන් ජාතික කණ්ඩායමට එකතු වන නමුත් සෙසු උදවිය අවතක්සේරු කිරීම සාධාරණ නොවේ. 

ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් සුනිල් ගවස්කාර් කළේ ඔහුගේ කාර්යභාරයයි. ඒ වන විට ඔහු නිරතව සිටි රැකියාව අනුව කෝලිගේ ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය පිළිබඳ අදහස් දැක්වීමයි. 

එය පසෙක තිබියේවා... 

ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන පළමු පරම්පරාව තමන් නොවන බව කෝලි සහ ඔහුගේ මිතුරන් අවබෝධ කර ගැනීම වඩාත් හොඳය. සුනිල් ගවස්කාර් මෙන්ම ඔහුටත් පෙර සිට ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් පිටියට පිවිසි සියලුම ක්‍රීඩකයන් නොවන්නට අද කෝලි කෙනෙක් නැත. 

කිසියම් පුද්ගලයකුට හිමි ගෞරවය සුළුවෙන් හෝ පිරිනැමීම අපහසු දෙයක් නොවේ. එහෙත් කෘතඥතාව ඕනෑවට වඩා ඉල්ලීමට යාමෙන් තියෙන දෙයත් නැතිවනු නිසැකය. 


‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත අනුග්‍රහයෙනි
සිංහල සැකසුම - දමින්ද විජේසූරිය


අදහස් (2)

කෝලි.... මේ ටිකත් මතක තියාගන්නවා හොඳයි
  • randil Saturday, 18 May 2024 08:09 AM

    ඉන්දියාව ගැන විතරක් උලුප්පලා කිව්වට ලෝකෙම තත්වය ඕකයි. අපේ රටෙත් එහෙමයි... මේක ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕන දෙයක් නෙමෙයි...

    Reply 0       0

    randil Saturday, 18 May 2024 12:11 PM

    ක්‍රිකට් විස්තර විචාරය යනු ක්‍රීඩකයන්ව විචාරය කිරීම නොවන බව ගවස්කාර් වැනි ජ්‍යෙෂ්ඨයෙක් දැනගත යුතුයි. එහිදී කෝලිගේ වචන අසාධාරණ නොවේ. ඔහු නිකන්ම නිකන් ක්‍රීඩකයෙකු නොවන අතර ඉන්දියාවෙන් මෙන් සමස්ත ක්‍රිකට් ලෝකයෙන්ම බිහිවුණු සුපිරි ක්‍රීඩකයකුද වෙයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.