චමරි - නිලක්‍ෂි තරගාවලියේ ජය ගෙනෙති

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලකොටුව වන ගාල්ලේදී, නවසීලන්ත කාන්තාවන් කඩුලු 8 කින් පරාජය කළ චමරි අතපත්තු (නොදැවී 140) ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නවසීලන්ත පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගත්හ. වර්ෂාවෙන් බාධා ඇතිවූ තුන්වැනි තරගයේදී, ඩක්වර්ත් - ලුවිස් න්‍යාය අනුව, ලකුණු 196 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 13 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය තමන් සතුකර ගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිමට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර ඉනිම නතර කරන විට ඔව්හු කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් ලබා සිටියහ. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ඉතිරි කොටස පැවැති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ඉහළ ගියේය.
ඉලක්කය කරා යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් ලකුණු 06 කට දැවී ගිය නමුත් චමරි අතපත්තු සහ නිලක්‍ෂි ද සිල්වා (නොදැවී 48) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 190 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. පන්දු 80 කින් ලකුණු 140 ක් ලබාගත් චමරිගේ ඉනිම හයේ පහර 9 කින් සහ හතරේ පහර 13 කින් අලංකාර විය. චමරිට අගනා සහයෝගයක් දුන් නිලක්‍ෂි, පන්දු 68 කට මුහුණ දෙමින් තම කඩුල්ල රැකගන්නා අතරේ 5 වතාවක් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැව්වාය.
පළමු තරගයේදී කඩුලු 9 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගය පරාජය විය. එහෙත් ඊයේ පැවැති තුන්වැනි තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය ජයගත්හ. මේ වන විට තරග 12 කින් 4 ක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා එක්දින ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී 2 වැනි ස්ථානයට පත්ව සිටී.
නවසීලන්ත කාන්තාවෝ - ඕවර 31 කදී කඩුලු 2 ට 127 යි
(සුසී බේට්ස් නොදැවී 63, ඇමීලියා කර් 19, සොෆී ඩේවීන් නොදැවී 38, ඕෂධී රණසිංහ 22/1)
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 26.5 කදී කඩුලු 2 ට 196 යි
(චමරි අතපත්තු නොදැවී 140, නිලක්‍ෂි ද සිල්වා නොදැවී 48, ලියා තාහු 29/1, සොෆී ඩේවීන් 32/1)