Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සාදි තව්ෆීක් විසිනි)
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නකු ලෙසින් සැලකෙන දයා සහබන්දු පසුගිය සිකුරාදා සිය දිවි සැරිය අවසන් කළේය. මියයන විට 83 හැවිරිදි වියේ පසුවූ දයා සහබන්දු, ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීමට පෙර අවධියේදී (1969 - 1975) ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. හදවතේ ඇතිවූ සංකූලතාවක් සඳහා ප්‍රතිකාර ගැනීම පිණිස ජයවර්ධනපුර මහ රෝලට ඇතුළත් කරන ලද දයා සහබන්දුට එහිදී නිව්මෝනියා තත්ත්වය ඇතිවීම නිසා එයින්ම ඔහුගේ දිවි සැරිය කෙළවර විය.
ක්‍රිකට් පිටියේදී බොහෝ දෙනා විසින් ඔහු හඳුන්වන ලද්දේ ‘සහාබ්’ නැතහොත් ‘බන්දු’ යනුවෙනි. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීමට පෙර සිටි නායකයන් වූ මයිකල් තිසේරා සහ අනුර තෙන්නකෝන් යටතේ දයා සහබන්දු ක්‍රීඩා කළේය.
“හරියටම ඉලක්කයට පන්දු යවන්න පුළුවන්, විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නකු විදිහට මට එයාව හඳුන්වන්න පුළුවන්... එක ඕයරයක බෝල හයම, එකම තැනට වැටෙන්න දාන්න එයාට පුළුවන්” යයි අනුර තෙන්නකෝන් මහතා ‘ඩේලි එෆ්ටී’ පුවත් පතට පැවසීය.
“ඒ විතරක් නෙමේ එයාගෙන් බේරෙන්න පහසු නෑ.. එයා හුඟක් වෙලාවට පිතිකරුවන්ගේ ඉවසීමත් එක්ක සෙල්ලම් කළා. එයාට පුළුවන් එයාගේ පැත්තෙන් ලකුණු ලබාගන්න නොදී පිතිකරුවන් ඔවුන්ගේ ඉවසීමේ සීමාව තල්ලු කරන්න. ඊට පස්සේ නිකම්ම කඩුලු එනවා..”
“එයා එක තරගයකදී විශාල වශයෙන් කඩුලු දවාගත්තේ නැත්තේ එයා පන්දුව වැඩි ප්‍රමාණයක් දඟ කවපු කෙනෙක් නොවන නිසයි. ඒත් එයාගේ ශක්තිය වුණේ එකම ඉලක්කයකට දිගින් දිගටම පන්දු යැවීම. එයාගෙන් ලකුණු ලබාගන්න අපහසු වුණාම, නොසන්සුන්තාවට පත්වන පිතිකරුවන් දැවී යනවා” යයි ද අනුර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසා තිබිණ.
වමතින් දඟ පන්දු යැවීමට පමණක් නොව, වමතින් මඳ වේග පන්දු යැවීමටත් සහබන්දුට මනා හැකියාවක් තිබිණ. ශ්‍රී ලංකාව වැනි රටකදී එය ඕනෑම නායකයකුට කදිම වාසියක් විය. වමතින් මඳ වේග පන්දු යැවීම අරඹන සහබන්දු, තණතීරුවේ තත්ත්වය වටහාගනිමින් හදිසියේම දඟ පන්දු යැවීමට පටන් ගනී. එය පිතිකරුවා අන්ද මන්ද කිරීමකි.
සහබන්දු එතරම් ශක්තිමත් ක්‍රීඩකයකු නොවේ. තරමක් උස, හීන්දෑරි දයා, පන්දු රකින්නකු වශයෙන් සිටියේ බොහෝ විට හතරේ සීමාව ආසන්නයේ නැතහොත් පන්දුව වැඩිපුර නොඑන තැන්වලය.
“එහෙම වුණත්, පන්දුව අතට ගත්තාම එයාට දිගින් දිගටම පන්දු යවන්න ඕනා” යයි බන්දුගේ තවත් නායකයකු වූ මයිකල් තිසේරා මහතා පැවසීය.
“ඒ කාලයේ සහබන්දුට අමතරව, අපට හොඳ වමත් දඟ පන්දු යවන්නන් කීප දෙනෙක්ම හිටියා. අජිත් ද සිල්වා, අනුරුද්ධ පොළොන්නෝවිට වගේ අය. ඒත් මේ තුන්දෙනාම එක් එක්කෙනාට වෙනස්..... විශේෂම කාරණය තමයි සහබන්දු පන්දු රකින විට නායකයන්ට එයා දිහා බලාගෙන ඉන්න වෙනඑක. මොකද නැත්නම් එයා නොදැනිම වගේ වෙනත් තැනකට තල්ලු වෙනවා.. කියන තැන නෙමේ ඉන්නේ...” යයි ද මයිකල් තිසේරා මහතා ‘ඩේලි එෆ්ටී’ පුවත් පතට කීවේය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි දයා සහබන්දු, 1958, 1959 සහ 1960 යන වසර තුනේදීම රාජකීය - සාන්ත තෝමස් නිල් මහ සටනට සහභාගි විය. 1958 දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ලකුණු 78 කට කඩුලු 5 ක් දවාගත් දයා, 1960 තරගයේදී ලකුණු 46 කට කඩුලු 4 ක් දවා ගත්තේය.
පාසල් දිවියෙන් පසුව ක්‍රීඩා භූමි උපදේශකවරයකු ලෙසින් කොළඹ නගර සභාවට බැඳුණු දයා සහබන්දු වසර 20 කට ආසන්න කාලයක් නොමෑඩ්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළේය. ඒ අතරවාරයේදී කඩුලු 1048 ක් දවාගත් දයාගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 14.11 ක් විය. ඒ වෙනුවෙන් දේශීය තරග 253 කට ඔහු ක්‍රීඩා කළත් ඒවා පළමු පෙළ තරග වශයෙන් සම්මත කර නොතිබිණ.
ඔහුගේ මුල්ම අන්තර්ජාතික තරගය වූයේ 1969 දී ශ්‍රී ලංකාවට පැමිණි එම්.සී.සී. (එංගලන්ත) ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව පැවැති තරගයයි. එංගලන්ත පිලේ කීර්තිමත් නායකයකු වූ කොලින් කවුඩ්රි විසින් මෙහෙයවන ලද එම්.සී.සී. කණ්ඩායමට එරෙහිව පැවැති එම සීමිත ඕවර තරගයේදී ශ්‍රී ලංකාව (එකල ලංකාව) ජයගත්තේය.
1975 ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට ක්‍රීඩා කළ දයා සහබන්දු (32) සහ ටෝනි ඕපාත (61) එක්ව පැය පහමාරකට (විනාඩි 330 ක්) වැඩි කාලයක් පුරා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනඟමින්, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තේය. ඔවුන් දෙදෙනා මෙම සම්බන්ධතාව ගොඩනැංවූයේ එවකට ලෝකයේ සිටි විශිෂ්ටතම දඟ පන්දු යවන්නන් තිදෙනා ලෙසින් හඳුන්වන ලද භගවත් චන්ද්‍රසේකාර්, බිෂන් සිං බෙඩී සහ එරප්පලි ප්‍රසන්න යන තිදෙනා හමුවේදීය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව කොළඹ රාජකීය විද්‍යාලයේ ෂෂ වැනි පෙළ කණ්ඩායමේ පුහුණුකරුවා වූ දයා සහබන්දු පසුව කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේත් පුහුණුකරුවා විය.
දයා සහබන්දුගේ අවසන් කටයුතු සෙනසුරාදා පස්වරුවේදී සිදුකෙරිණ.
ඩේලි එෆ්.ටී. ඇසුරිනි
සැකසුම : දමින්ද විජේසූරිය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.