Last Update  :  2025-04-22 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේශීය ක්‍රිකට් තරගාවලි වහාම අත්හිටුවයි
අමාත්‍යංශයේ ලිපියක් නිසා

දේශීය ක්‍රිකට් තරගාවලි වහාම අත්හිටුවයි

editorial - 2023 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි අත්හිටුවා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලද ලිපියක් සම්බන්ධයෙන් කරුණු නිරාකරණය කරගන්නා තුරු සියලුම දේශීය තරග අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (01 වැනිදා) තීරණය කර තිබේ.

අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින තරගාවලිය සහ ආරාධිත සමාජ ‘බී’ තලයේ තරඟාවලිය පැවැත්වෙමින් තිබියදීම, මෙම තීන්දුව ගනු ලැබ ඇත.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද අභියාචනා කමිටුවකින් කරන ලද දැනුම්දීමක් මත, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2023 අගෝස්තු 25 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවා ඇති ලිඛිත උපදෙස් හේතුවෙන් මෙම තීරණය ගැනීම සිදුවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් ලැබෙන තුරු එම තරගාවලි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

වාර්තා වන අන්දමට පසුගිය වසරේදී පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ පහළින්ම සිටි කණ්ඩායම් 4 ක් සමග තරග වැදීමට පසුගිය වසරේ පැවැති ‘සරා’ කුසලාන තරගාවලියේ කණ්ඩායම් 6 ක් තාවකාලිකව ඉදිරියට ගෙන තිබේ. ආරාධිත සමාජ ‘බී’ තලයේ තරඟාවලිය යනු එයයි.

එහෙත් එම තෝරාගැනීම සම්බන්ධයෙන් ගෙස්ටෝ ක්‍රිකට් සමාජය විසින් ක්‍රීඩා ඇමතිවරයා වෙත ඉදිරිපත් කරන ලද විරෝධතාවක් විමසීම සඳහා පත්කරන ලද අභියාචනා කමිටුවක දැනුම්දීම මත ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කරන ලද ලිඛිත දැනුම්දීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග කමිටුව සහ කළමණාකර කමිටුව විසින් සියලුම දේශීය තරගාවලි අත්හිටුවීමට තීරණය කර තිබේ.

“2022 වසරේ ප්‍රතිඵල මත ක්‍රීඩා සංගම් ශ්‍රේණිගත කිරීමට ගෙන ඇති තීරණය ක්‍රීඩා නීතියට අනුකූලව ගෙන ඇති තීරණයක් නොවන බව කමිටුව නිරීක්‍ෂණය කළ අතර, 2023 වර්ෂයේ නව තරගාවලි නිති රීති යටතේ පැවැත්වෙන තරගාවලි ප්‍රතිඵල පදනම් කර ක්‍රීඩා සමාජ නව ශ්‍රේණිගත කිරීම් සිදුකරන ලෙසත්, 2023 ජූනි 17 දින සම්මත කරගත් සියලු සංශෝධන සඳහා ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය ලබාගැනීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දීම සුදුසු බවට අභියාචනා උපදේශක කමිටුව විසින් නිර්දේශ කර ඇත” යනුවෙන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යවනු ලැබ ඇති ලිපියේ සටහන් වේ.

කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ මහත් සේ අසරණව සිටිති.

මෙම තරග වලට සහභාගි වීම වෙනුවෙන් ඔවුනට දිනකට රුපියල් 15,000 ක පමණ මුදලක් හිමිවන අතර තරගයක ගෙවීම රුපියල් 45,000 කි. එහෙත් තරගාවලිය හදිසියේම නතර කිරීම නිසා ක්‍රීඩකයන් 400 කට ආසන්න පිරිසකට හදිසියේම තම රැකියාව අහිමි වී තිබේ. මෙම ක්‍රීඩකයන් තම පවුලේ උදවිය නඩත්තු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් ලැබෙන ආදායමෙනි.

“තරගාවලියේ ඉතිරි කොටස කවදා පටන් ගන්නවාද කියලා ඒ ගොල්ලන් අපෙන් අහනවා. ඒත් ක්‍රීඩා අමත්‍යංශයෙන් ඒ ගැන නිසි පැහැදිළි කිරීමක් නැතිව, අපි කොහොමද ක්‍රීඩකයන්ට උත්තරයක් දෙන්නේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

“ඒ විතරක් නෙමේ”
“ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන්නේ නැෂනල් සුපර් ලීග් (එන්.එස්.එල්.) තරගාවලියයි. ඒක ක්‍රිකට් කමිටුවෙන් සම්මත කරපු තරගාවලියක්. ඒ තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගන්නේත්, ඔවුන්ට කොන්ත්‍රාත්තු පිරිනමන්නේත් දැන් පැවැත්වෙන තුන්දින තරගාවලියෙන් ක්‍රීඩකයන් තෝරා ගත්තාට පසුවයි”

“ඒත් දැන් තුන්දින තරගාවලිය නවත්වලා තියෙන නිසා ‘එන්.එස්.එල්’ තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගන්නත් බෑ.. ඒ ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඕස්ටේ්‍රලියාවේ හෝ එංගලන්තයේදී පැවැත්වෙන ප්‍රාන්ත තරග සඳහා සුදුසුකම් ලබාගන්නත් බෑ....”

“මේ දෙකටම වඩා භයානක කාරණය තමයි, ලබන වසරේ පෙබරවාරි වෙනකම් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග නෑ. එතකම් පළමු පෙළ ක්‍රීඩකයන්ට නිරත වෙන්න තරගාවලියක් නෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියෙක් ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළේය.

 


අදහස් (0)

දේශීය ක්‍රිකට් තරගාවලි වහාම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.