Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනංජය - මිලාන් ශ්‍රී ලංකාව ගොඩගනිති
එංගලන්ත සංචාරය

ධනංජය - මිලාන් ශ්‍රී ලංකාව ගොඩගනිති

editorial - 2024 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මහත් ව්‍යසනයකදී ධෛර්යවන්තව ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න මැනවින් පහදා දුන් ධනංජය ද සිල්වා (74) සහ මිලාන් රත්නායක (72) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 කඩයිමෙන් ඔබ්බට තල්ලු කළහ. එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර් නුවරදී අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 236 ක් ලබාගත්තේ අවසන් කඩුලු 3 න් ලකුණු 123 ක් එකතු කරගනිමිනි. 

තරගයේ පළමු දිනය නිමාවන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය. 

එංගලන්ත පන්දු යවන්නන්ට කිසියම් කිසියම් තරගයක් දුන්නා නම් ඒ ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක පමණි. ධනංජය පිටියට පිවිසෙන විටත් ලකුණු පුවරුව කඩුලු 4 කට 40 ක් ලෙසින් දිස්විය. ධනංජය හීන් සීරුවේ සිය පිතිහරඹ රටාවට පිවිසෙද්දී අනෙක් අන්තයේ සිටි පිතිකරුවෝ එක එකා දැවී ගියහ. අවසානයේදී ඔහුගේ සහායට සිටියේ කෝඩුකාර මිලාන් රත්නායක පමණි. 

ලකුණු 113 දී හත්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පැමිණි රත්නායක සහ ධනංජය එක්ව ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ධනංජය දැවී ගියත් සටන අත් නොහළ කෝඩුකාරයා, පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව ලකුණු 200 කඩයිමෙන් එපිටට  කණ්ඩායම තල්ලු කළේය. 

ටෙස්ට් පිතිකරුවකුට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු පා ක්‍රියාකාරීත්වය මැනවින් ප්‍රදර්ශනය කළ ධනංජය වරක් ස්ටම්ප් කිරීමකට හසුවන්නට ගිය නමුත් යාන්තමින් සිය කඩුල්ල බේරා ගත්තේය. එහෙත් එම සිදුවීමෙන් ඕවර 10 කට පසුව, ඩෑන් ලෝරන්ස්ගේ අගනා උඩපන්දු රැකීමක් හමුවේ ධනංජයට කඩුල්ල අහිමි විය. ඒ වන විට ශ්‍රී ලංකා නායකයා පන්දු 84 කින් 8 ක් හතරේ සීමාවට යවා තිබිණ. 

පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වූ නමුත් අවශ්‍යම මොහොතේදී සිය කණ්ඩායම ගොඩගත් මිලාන් රත්නායක මුහුණ දුන් 96 වැනි පන්දුවේදී සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරන විට ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත් වී තිබිණ. පිට පිටම දෙවැනි වරටත් මිඞ් ඕන් ක්‍රීඩකයාගේ හිසට ඉහළින් පන්දුව යැවීමට උත්සාහ කළ රත්නායක, ලකුණු 72 කට දැවී ගියේය. 

කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 06 රැඳී තිබියදීම දිමුත් කරුණාරත්න, නිශාන් මධුෂ්ක සහ ඇන්ජලෝ මැතිව්ස් තිදෙනාම දැවී ගියහ. 

නිශ්චිත ඉලක්කයක් ඇතිව පන්දු යැවූ එංගලන්ත ක්‍රීඩකයෝ දිවා ආහාරයට පෙරම ශ්‍රී ලංකා පිලේ කඩුලු 5 ක් බිම දැමූහ. දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට ලකුණු 80 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරුතාවකට මුහුණ දී සිටියේය. කෙසේ වෙතත් නායක ධනංජය ද සිල්වා සහ කෝඩුකාර මිලාන් රත්නායක දෙදෙනා කළ ධෛර්යවත් පිතිහරඹයට පින් සිදුවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හිස් කෙළින් කරගත්හ. 

ගස් ඇට්කින්සන්ගේ කෙටි පන්දුවකට හුක් පහරක් ගැසීමට උත්සාහ කළ කරුණාරත්නගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව කඩුලු රකින්නා අත පත්විය. අනෙක් අන්තයෙන් යැවුණු ඊළඟ ඕවරයේ පළමු පන්දුව පිතිකරුවාගෙන් ඉවතට ඇදී යද්දීත් ඊට ඩ්‍රයිව් පහරක් ගැසීමට ගිය මධුෂ්කගේ පිත්තේ පිටත දාරයේ ගැටුණු පන්දුව, පළමු ස්ලිප් හි සිටි ජෝ රූට්ගේ දෑත් සොයා ගියේය. 

එංගලන්ත පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දුව දෝලනය කරමින් මෙන්ම තණතීරුවේ ඉපිළීමත් ප්‍රයෝජනයට ගනිමින් සිටි මොහොතක පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් මුහුණ දුන්නේ පන්දු 5 කට පමණි. පිට ඉන්නට යාන්තමට එපිටින් පතිත වූ ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවට පිත්ත නොදා එය නිදැල්ලේ යැවීමට මැතිව්ස් අදහස් කළ නමුත් පන්දුව ඔහු සිතුවාට වඩා කඩුල්ල තුළට දෝලනය විය. එය පා ආවරණයේ වැදීමත් සමගින් විනිසුරු පෝල් රයිෆල් මහතා පැකිළීමකින් තොරවම මැතිව්ස් දැවී ගිය බවට තීරණය කළ නමුත් පිතිකරුවා එය විතීවි ක්‍රමවේදයට යොමු කළේ සහනයක් අපේක්‍ෂාවෙනි. එහෙත් විනිසුරුවරයාගේ තීන්දුව ‘හෝක් අයි’ තාක්‍ෂණයෙන් ද තහවුරු කෙරිණ. 

ලකුණු සංඛ්‍යාව එකතැන තිබියදී කඩුලු 3 ක් බිඳ වැටුණු නමුත් පන්දු යවන්නන්ට කරේ නඟින්නට නොදී, කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනා ලකුණු සංඛ්‍යාව ඉහළට තල්ලු කරන්නට වූහ. 

සිය පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගෙන තිබියදීත්, එංගලන්ත නායක ඔලී පෝප් හදිසියේම පන්දුව මාක් වුඞ් අතට දුන්නේය. වුඞ්ගේ දෙවැනි ඕවරයෙන් කුසල් මෙන්ඩිස්ට ලැබුණේ කළාතුරෙකින් ලැබෙන හොඳ පන්දුවකි. මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 24 කට සීමාකරමින් ඉගිළුණු උඩපන්දුව හැරී බෲක්ස්ගේ දෑත් අතර සැ`ඟවී ගියේය. තවමත් 20 හැවිරිදි ක්‍රීඩකයකු වන ෂොයිබ් බෂීර්ගේ පන්දුවක් පහතින් පැමිණ දිනේෂ් චන්දිමාල්ගේ පා ආවරණයේ වදින විට ලකුණු සංඛ්‍යාව යාන්තමින් 70 පසුකළා පමණි. 

මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම පැළඳි 166 වැනි ක්‍රීඩකයා විය. 

එංගලන්ත පිලේ හිටපු පිතිකරුවකු වන ග්‍රැහැම් තෝප්ගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා සහ එංගලන්ත දෙපිලේම ක්‍රීඩකයෝ කළු පටි පැළඳ ක්‍රීඩා කරති. එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100 ක් සහ එක්දින තරග 81 ක් ක්‍රීඩා කළ ග්‍රැහැම් තෝප් පසුගිය 4 වැනිදා සිය දිවි හානිකර ගත්තේය. ඔහු වසර ගණනාවක් තිස්සේ විෂාදයෙන් සහ තැවුල් සහගත බවින් පෙළෙමින් සිටියේය. 

 

 - 213


අදහස් (0)

ධනංජය - මිලාන් ශ්‍රී ලංකාව ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.