Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත පිතිකරුවෝ පහසු ගමනක
ගාල්ල ටෙස්ට් තරගය - 1

නවසීලන්ත පිතිකරුවෝ පහසු ගමනක

editorial - 2024 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

 

කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගනිමින් සිටින නවසීලන්ත පිතිකරුවෝ ගාල්ල ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියහ. ශ්‍රී ලංකාවේ ලකුණු 305 අභිබවා යාමට ඔවුන්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 50 ක් පමණි. 

ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් පිතිකරුවා වන කේන් විලියම්සන් (55) සහ රචින් රවීන්ද්‍ර (39) දෙදෙනාවම ලකුණු 09 ක් ඇතුළතදී දවාගැනීමට ධනංජය ද සිල්වා සමත් වූයේය. එහෙත් එතැන් සිට එක්වූ ඩැරිල් මිචෙල් (නොදැවී 41)  සහ ටොම් බ්ලන්ඩ්ල් (නොදැවී 18) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් නවසීලන්තය ඉදිරියට ගෙන ගියහ. 

ඔවුන් දෙදෙනාගෙන් ඩැරිල් මිචෙල් හිතුවක්කාර පහර කිහිපයක්ම ගැසූ නමුත් ඒ සියලු අවස්ථාවලින් ගැලවීම සඳහා ඔහුට පුදුමාකාර වාසනාවක් තිබිණ. වතාවක් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ගැසූ පැඩ්ල් ස්කූප් පහරකින් ධනංජය ද සිල්වා උඩපන්දුවක් රැකගත් බව විනිසුරු මයිකල් ගෆ් මහතා තහවුරු කළ නමුත් එය විතීවි ක්‍රමවේදයට යොමුකළ පිතිකරුවා තමන්ගේ කඩුල්ල රැකගත්තේය. 

නවසීලන්ත ඉනිමේ 10 වැනි ඕවරය නිමාවන විට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් පස් දෙනකුගේ නම් ලකුණු පුවරුවට ඇතුළත් වී තිබිණ. නවසීලන්ත ඉනිමේ ලකුණු ගලායාමට මූලික හේතුවක් වූයේ ප්‍රභාත් ජයසූරියගේ ඉලක්කයකින් තොර පන්දු යැවීමයි. තේ පානයට පෙර යැවුණු ඕවර 38.4 න් 14.4 ක් යැවූයේ ප්‍රභාත් වූවත් ඔහුට එකම නිලකුණු ඕවරයක් හෝ යවාගත නොහැකි විය. තේ පානයෙන් පසුව තවත් ඕවර 15 ක් යැවූ ප්‍රභාත්ගේ සම්පූර්ණ ඕවර 31 කින් නවසීලන්ත පිතිකරුවන් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 99 කි. 

ඕවර 17 ක් යැවූ රමේෂ් මෙන්ඩිස්ට තිබුණේත් එකම නිලකුණු ඕවරයකි. 

දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් යයි නම් ලද ගාල්ල ක්‍රීඩාංගණයේදී ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගත් විලියම් ඕ’රූක් පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305 කට සීමා කළේය. සිය තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඕ’රූක් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි අවස්ථාව මෙයයි. 

අද පෙරවරුවේ තරගය ආරම්භ වනවිට කඩුලු 7 කට ලකුණු 302 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු තුනම ලකුණු 03 ක් ඇතුළත ඇද වැටිණ. පළමු වර්ෂාවට පෙර ප්‍රභාත් ජයසූරිය  ලකුණු නොලබාම දැවී ගියේය. වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසුව පන්දු 7 ක් ඇතුළත ඉතිරි කඩුලු දෙක දවාගැනීමට ඕ’රූක් සමත්විය. 

ඕ’රූක්ගේ ක්‍රමය වන්නේ කෙටි පන්දු යවමින් පිතිකරුවා සසළ කිරීමයි. 

“ඒකට කියන්නේ පිතිකරුවා පිතිකරුවා සසළ කිරීම කියලා නම් මම ඒ වචනයට කැමතියි. අපි පුහුණුකරුවන් සමග කතාබහ කරන්නේත් ඒ වගේ දෙවල් ගැනයි” යයි විලියම් ඕ’රූක් ඊයේ සවස කීවේය. එසේ කියන විට ඕ’රූක් දවාගෙන සිටියේ කඩුලු 3 ක් වුවද අද පෙරවරුවේදී ඔහු කඩුලු දෙකක් දවාගත්තේ  කඩුල්ල එල්ලයේ පන්දු යවමිනි. 


අදහස් (0)

නවසීලන්ත පිතිකරුවෝ පහසු ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.