Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පර්සිට ලක්‍ෂ 50 ක්

පර්සිට ලක්‍ෂ 50 ක්

editorial - 2023 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 70 කට ආසන්න කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසින් සිටි සුප්‍රසිද්ධ ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාගේ අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරිත්‍යාග කර තිබේ. මේ වන විට 87 හැවිරිදි වියේ පසුවන අබේසේකර මහතාගේ යහපැවැත්ම සහ සෞඛ්‍ය තත්ත්වය මැනවින් පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පරිත්‍යාගය කරන ලදී.

පර්සි අබේසේකර මහතා ‘සිංහ කොඩිය’ රැගෙන නොගිය ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෝකයේ ඇත්නම් ඒ පසුගිය වසර දෙකක කාලයේදී ඉදිකරන ලද්දකි. 

“උද්යෝගීමත් පුද්ගලයකු වශයෙන් පර්සි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූ දායකත්වය අප්‍රමාණයි. ඔහු ක්‍රීඩකයින්ට විතරක් නෙමේ, සමස්ත ක්‍රීඩාවටම ශක්තිමත් කුළුණක් වගේ හිටියා. දැන් ඔහුගේ යහපැවැත්ම ගැන සොයා බැලීම අපේ අවස්ථාවයි” යැයි මෙම පරිත්‍යාගය කිරීම සඳහා පර්සි අබේසේකර මහතාගේ නිවසට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 

1948 දී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී සිය වැඩිමහල් සොහොයුරාත් සමගින් ගාල්ලේ සිට කොළඹ පැමිණි පර්සි අබේසේකර, මරදාන දුම්රියපොලෙන් බැස ශත 10 ප්‍රවේශපත්‍රයකින් ට්‍රෑම් රියක නැගී බොරැල්ලේ පිහිටි ඕවල් පිටියට යන විට යන්තම් 12 හැවිරිදි දරුවකු විය. එතැන් සිට පසුගිය දශක හත පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමගින් ඇලී ගැලී සිටි පර්සි ලෝකයේ සෑම ක්‍රිකට් කණ්ඩායමකම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාත් පසුගියදා අබේසේකර මහතාගේ සුවදුක් බැලීමට ඔහු සොයා ගියේය. 

1948 ඕවල් පිටියේදී පැවැති තරගයේදී බ්‍රැඩ්මන් ලබාගත්තේ ලකුණු 20 ක් පමණක් බවත්, රසල් හයින්ගේ පන්දුවකට ආර්. එල්. ක්‍රෙට්සර් උඩපන්දුවක් රැකගැනීමෙන් බ්‍රැඩ්මන් දැවීගිය ආකාරයත්, පසුගිය වසරේ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයකදී, පර්සි අබේසේකර මහතා රස කරමින් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩා ලෝලීන් සමගින් පැවසීය. 

1936 ජූලි 30 වැනි දින, බලපිටියේදී උපත ලැබූ පර්සි තරුණ කාලයේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.  වමත් පිතිකරුවකු වූ ඔහු දකුණතින් පා දඟ පන්දු යැවීය. 
“මම කාලයක් සිංහ කොඩිය නැතුවත්, 1979 සිට සිංහ කොඩිය අතේ ඇතුවත් කණ්ඩායම වෙනුවෙන් කෑ ගැහලා තියෙනවා” යයි පර්සි අබේසේකර මහතා ඕස්ටේ්‍රලියානුවන් හා පැවසීය.

ඒ.සී.එල්. කේබල්ස් ආයතනයේ මහජන සම්බන්ධතා උපදේශකයෙකු වශයෙන් දීර්ඝ කාලයක් සේවය කළ අබේසේකර මහතා තම සේවයෙන් විශ්‍රාම ගත් පසුවත්, එම ආයතනය වෙනුවෙන් පෙනී සිටි අවස්ථා ගණනාවක්ම තිබිණ. 
ක්‍රිකට් පිටියේදී කිසිදා කිසිවකු වෙනුවෙන් පෙනී නොසිටි පර්සි අබේසේකර මහතා නිරන්තරයෙන්ම පැවසූ කතාවක් තිබිණ. 

“මම පර්සි..., ක්‍රිකට් පිස්සෙක්....., ඒත්... කම්මැලි ක්‍රිකට් ක්‍රිකටර්ලාටයි, ප්‍රේක්‍ෂකයන්ටයි, පරිපාලන නිලධාරීන්ටයි... මගෙන් කිසිම අනුකම්පාවක් නෑ..” යයි ඔහු කියයි. 

උත්ප්‍රාසය දැනවෙන ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමෙහිලා අති දක්‍ෂයකු වන පර්සි අබේසේකර මහතාගේම වදන්වලින් එය කියැවෙන්නේ මෙලෙසිනි.

I'm Percy..., Cricket Crazy..., but I have no Mercy, for those Cricketers, Spectators and Administrators, who are Lazy.


අදහස් (0)

පර්සිට ලක්‍ෂ 50 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.