Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රමෝද්‍යගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

ප්‍රමෝද්‍යගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

editorial - 2023 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයේ ඊයේ (21) පෙනී සිටි ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් පැය පහක පමණ කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට එම ඒකකය කටයුතු කළේය. නැවත ලබන සඳුදා (27) පස්වරු 2කට සාක්‍ෂි සටහන් කර ගැනීම සඳහා පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙසත් එහිදී ඔහුට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ඔහු විසින් මාධ්‍ය නිවේදනයක් මගින් කළ ප්‍රකාශය  සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කරමින් ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඊයේ එම ඒකකයට මෙලෙස කැඳවනු ලැබීය. ඒ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමය පරිදිය.

වික්‍රමසිංහ මහතා සිය නීතිඥ ෂිරාල් ලක්තිලක මහතා සමග ඊයේ පෙරවරු 11.30 වන විට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.

එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුන් විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශය සටහන් කර ගැනීම එහිදී සිදුවිය.

කෙසේ වුවත් ඊයේ පස්වරු 4.30 වන විට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ වෙහෙසට පත්ව සිටින බැවින් තවදුරටත් සාක්‍ෂි දීම සඳහා තමන්ට වෙනත් දිනක් ලබාදෙන ලෙසයි.

ඒ සඳහා පොලිස් ඒකකය අද (22) දිනය ඔහුට ලබා දුන්නත් ඔහුගේ කැමත්ත මත ලබන සඳුදා (27) පස්වරු 2ට නැවත පොලිස් ක්‍රීඩා වැරදි සෙවීමේ ඒකකයේ පෙනී සිටීමට නියමිතය.

ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකයේ ස්ථානාධිපති සුපුන් විතානගේ මහතා ‘‘ලංකාදීප’’ය කළ විමසුමකදී පැවසුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලෝක කුසලාන තරග පරාජය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කරමින් කරුණු සටහන් කර ගත් බවයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා වෙහෙසට පත්ව සිටින බව ප්‍රකාශ කළ බැවින් තවදුරටත් ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා ඔහුට මෙම 27 වැනිදා පස්වරු 2ට සිය පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බවත් එහිදී විතානගේ මහතා තවදුරටත් පැවසීය.

ක්‍රීඩා වැරදි සෙවීමේ විමර්ෂණය සඳහාම වසර 2020 දී ස්ථාපිත කළ මෙම පොලිස් ඒකකය වත්මන් ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතාය.


අදහස් (0)

ප්‍රමෝද්‍යගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.