Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක්‍රිකට් තරගාවලිය සා.පෙළ විභාගයෙන් පසුව

පාසල් ක්‍රිකට් තරගාවලිය සා.පෙළ විභාගයෙන් පසුව

ශානුක අරවින්ද - 2021 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස මැද භාගයේ සිට ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තහවුරු කරයි. ඒ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) පරීක්‍ෂණයෙන් පසුවය. අ.පො.ස. (සා/පෙළ) පරීක්‍ෂණය මාර්තු මස 1 වැනිදා ආරම්භ වී 12 වැනිදා අවසන් වීමට නියමිතය.

සැලසුම් කර ඇති පරිදි තරගාවලිය පැවැත්වීම සඳහා පාසල් ක්‍රිකට් සංගමය මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටියි.

මින් පෙර වසරවලදී 19 න් පහළ වයස් කාණ්ඩය සඳහා සැප්තැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා දින දෙකේ තරගාවලියක් සංවිධානය කෙරුණද, මෙම වසරේදී කොරෝනා වසංගතය සහ අ.පො.ස සමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් සීමිත ඕවර තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම තරගාවලියේ පළමු ශ්‍රේණියේ තරග මෙන්ම දෙවැනි ශ්‍රේණියේ තරගද ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. පළමු ශ්‍රේණියේ තරග සඳහා පාසල් 36 ක් ඇතුළත් වන අතර ඉන් කණ්ඩායම් 18 ක් ‘ඒ’ කාණ්ඩයේද, සෙසු කණ්ඩායම් 18 ‘බී’ කාණ්ඩයේද තරග වදිනු ඇත.

දෙවැනි ශ්‍රේණියේ තරගාවලියට කණ්ඩායම් 35 ක් ඇතුළත් වන අතර ඉන් කණ්ඩායම් 18 ක් ‘ඒ’ කාණ්ඩයේද, සෙසු කණ්ඩායම් 17 ‘බී’ කාණ්ඩයේද තරග වැදීමට නියමිතය. මෙම සියලුම කණ්ඩායම් තෝරාගනු ලැබ ඇත්තේ ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් පදනම් කරගනිමිනි.

පළමු සහ දෙවැනි කොටස්වල ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකම කණ්ඩායම් 6 බැගින් වූ තවත් අනු කාණ්ඩ 3 කට වෙන් කෙරේ. තරගාවලිය ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන බැවින් සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තරග 5 කට බැගින් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

මූලික වටය අවසානයේ අනු කාණ්ඩ තුනේ හොඳම කණ්ඩායම් දෙක බැගින් (කණ්ඩායම් 6 ක්) ඍජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. පසුව අදාල කාණඩවල තෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් තුනෙන් වැඩි ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙකද අර්ධ අවසන් පූර්ව වටයට තෝරා ගැනේ.

සැලසුම් කර ඇති පරිදි තරගාවලිය පැවැත්වීම හැකි වුවහොත් එය මාර්තු මස 15 ත් 20 ත් අතර ආරම්භ වන අතර අප්‍රේල් මස 9 වැනිදා වන විට එහි මූලික වටයේ තරග නිමාවනු ඇත. අවසන් වටයේ තරග සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමා වීමෙන් අනතුරුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.  

ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අප්‍රේල් මස 20 වැනිදාත්, අවසන් පූර්ව තරග 25 වැනිදාත්, අවසන් මහ තරග 30 වැනිදාත් පැවැත්වීමට නියමිතය. මූලික තරග සියල්ලම  පාසල් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව තරගවල සිට ඉදිරියට ඇති තරග පාසල් ක්‍රිකට් සංගමය විසින් නම් කරනු ලබන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

මීට සමගාමීව වයස 19 න් පහළ තෙවැනි ශ්‍රේණියේ තරගාවලියක්ද පැවැත්වීමට නියමිතය. එය පළමු  මට්ටම සහ දෙවැනි මට්ටම ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ. එහි පළමු මට්ටමේදී පාසල් 57 ක් අනු කාණ්ඩ 10 කට බෙදී තරග වදිනු ඇත. මූලික වටය අවසානයේ සෑම අනු කාණ්ඩයකින්ම කණ්ඩායම් දෙක බැගින් (කණ්ඩායම් 20 ක්) තෝරාගෙන පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමට අනුව අවසන් වටය පවත්වනු ලැබේ.

තෙවැනි කොටස තරගාවලියේ දෙවැනි මට්ටමේ තරග සැලැස්ම සතියකට පමණ පසුව එළිදැක්වීමට නියමිතය.

 


අදහස් (0)

පාසල් ක්‍රිකට් තරගාවලිය සා.පෙළ විභාගයෙන් පසුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.