Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැය දෙකේ මගඩි නාටකය
ආසියානු කුසලාන 2023

පැය දෙකේ මගඩි නාටකය

editorial - 2023 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහ තරගයක් අවසන් කළ අඩුම කාලය වාර්තාකළ ඉන්දියානුවෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කරමින් ආසියානු කුසලානය දිනාගත්හ. පැය එක හමාරක් තුළදී ශ්‍රී ලංකා ඉනිම අවසන් කළ ඉන්දියානුවෝ, විනාඩි 26 ක් තුළදී ලකුණු 51 ක් ලබාගනිමින්, පැය දෙකකටත් (විනාඩි 116 ක්) අඩු කාලයක් තුළ සම්පූර්ණ තරගයම නිමා කළහ.

1999 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී පාකිස්තානය (ඕවර 39) ලකුණු 132 කට දැවී ගිය නමුත් එම ලකුණු සංඛ්‍යාව ලබාගැනීම සඳහා ඕස්ටේ්‍රලියානුවෝ ඕවර 20.1 ක් වැය කළහ. එබැවින් එය ඕවර 59.1 ක තරගයක් විය. එහෙත් අද පැවැති සම්පූර්ණ තරගයම ඕවර 21.3 කට සීමා විය.

දශක පහකට ආසන්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ආසියානු කුසලානය දිනාගැනීමට නම් වැඩිපුර වෙහෙස නොවී ලකුණු 51 ක් ලබාගන්නා ලෙස ඉන්දීය පිතිකරුවන්ට ආරාධනා කළහ. ආරාධනාව සාදරයෙන් බාරගත් ඉෂාන් කිෂන් (නොදැවී 23) සහ ෂුබ්මන් ගිල් (නොදැවී 27) පන්දු 37 කදී ලකුණු 51 ක් රැස්කරමින් අට වැනි වරටත් ආසියානු කුසලානය ඉන්දියාවට දිනා දුන්හ.
වෙනදා ආරම්භක පිතිකරුවා වන රෝහිත් ෂර්මා, ආසියානු කුසලානය බාරගන්නට ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති පීඨිකාවට පැමිණි නමුත් පිතිහරඹය කෙරෙන අවස්ථාවේදී පැත්තකට වී බලා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 කට දැවී ගියේ ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද සටහන් කරමිනි. මීට පෙර, වසර 2000 දී පැවැති ආසියාන කුසලාන තරගයකදී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 87 කට දැවී යාම, එතෙක් මෙතෙක් ආසියානු කුසලාන තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වී තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2012 දී දකුණු අප්‍රිකානුවන් හමුවේ පාර් නුවරදී ලකුණු 43 යි. එය පසුකරගත් නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට 1986 දී කොදෙව් පිල හමුවේ සාජාහිදී දැවීගිය ලකුණු 55 පසුකරගත නොහැකි විය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අසාර්ථකම ආරම්භය ශ්‍රී ලංකාවට උරුම කර දුන් ජස්ප්‍රීට් බුම්රා (08/1) සහ මොහොමඩ් සිරාජ් (07/6) එක්ව ලකුණු 12 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවෝ හය දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. ඉනිමේ 12 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 7 කට 39 කි. එතැන් සිට තවත් ඕවර 3 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ ඉනිම සඳහා ගතවූයේ යන්තම් පැය එක හමාරක් පමණි.

සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කළ මොහොමඩ් සිරාජ් (21/6) සහ පන්දු 6 කින් කඩුලු 3 ක් දවාගත් හර්දික් පාණ්ඩ්‍යා (03/3) ශ්‍රී ලංකා ඉනිම විනාශ කළහ. ආසියානු කුසලාන තරගයකදී හොඳම පන්දු යැවීමේ වාර්තාව තවමත් ශ්‍රී ලාංකිකයකු වන අජන්ත මෙන්ඩිස් (13/6) සතුව ඇතත්, එය ශ්‍රී ලාංකිකයන්ගේ සිත් සතුටු කරගැනීමට ඇති වාර්තාවක් පමණි.

පස්වරු 3.00 ට තරගය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇද හැළුණු පොද වැස්සක් හේතුවෙන් තරග ආරම්භය විනාඩි 40 කින් පමා වූවද, පස්වරු 5.09 වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබුණේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. පිතිකරු ලයිස්තුවේ පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකුම සිටින බැවින් ඉන්දියානුවන්ට එරෙහිව පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනා අතරට පා දඟ පන්දු යවන්නකු වන දුෂාන් හේමන්ත කැඳවන ලදින් ඔහු නොදැවී ලකුණු 13 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාවේ මංගල එක්දින තරගයේදීත් (බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව - 1975 මැන්චෙස්ටර්හිදී) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 86 කට දැවී ගියේය. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් කොදෙව් පන්දු යවන්නන් අතර ලෝක පූජිත වේග පන්දු යවන්නන් වූ ඇන්ඩි රොබට්ස්, බර්නාඩ් ජූලියන්, වැන්බර්න් හෝල්ඩර් සහ කීත් බොයිස් වැන්නෝත් සිටි නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් අසරණ තත්ත්වයකට පත්නොවීය.

 

 

ශුබ්මාන් ගිල්...

 

ඉෂාන් කිෂාන් සහ ශුබ්මාන් ගිල්...

 


අදහස් (4)

පැය දෙකේ මගඩි නාටකය
  • A Sad Cricket Fan Tuesday, 19 September 2023 02:22 PM

    මේ අන්ත පරාජයට, විනාශයට හේතුව SLC එකයි. ඡන්දයේදී පළමු කොටසේ කණ්ඩායම් 8 සිට 26 දක්වා වැඩිවුණා. ඒ අනුව අපිට පළමු පන්තියේ ක්‍රිකට් තියෙන්නේ ගොඩක් අඩු මට්ටමක. SLC එකත් ගොඩක් සල්ලි නාස්ති කරනවා. මේවායේ දැන් ඉන්න බලධාරීන් ඉවත් කරන්න ඕනේ. නැතිනම් ක්‍රිකට් තවත් වලපල්ලට යනවා...

    Reply 0       0

    Nimal Tuesday, 19 September 2023 03:20 PM

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දකින විට මම පාසල් යන කාලයේ වාර අවසාන රිපෝර්ට් එක සිහිවෙනවා. ඒකත් ඔය වගේ තමයි, මට හරි ආඩම්බරයි...!

    Reply 0       0

    pakeer Tuesday, 19 September 2023 06:00 PM

    ලංකාවේ ක්‍රිකට් ඉවර වුණේ 1999. නුඹලා තවම මේවා බලනවා. එදා ඔවුන් සෙල්ලම් කළේ දක්ෂතාවයට සහ ක්‍රිකට් වලට තියෙන කැමැත්තට. අද ඔවුන් සෙල්ලම් කරන්නේ සල්ලි වලටයි, ගෑණු ගන්නයි. මේ වගේ ගොන් හැත්තක් තවත් නෑ. මේකත් දේශපාලනය වගේ තමයි. ඔවුන් සල්ලිකාරයෝ වගේ වෙනවා. නුඹලා ඔවුන් පස්සේ යනවා. ඔවුන්ව ගණන් ගන්න එක අඩුකරපල්ලා. ඔවුන්ව උඩදාන එක නවත්වන්න. එතකොට නියම ක්‍රිකට් ක්‍රීඩකයින් එළියට එනවා. දේශපාලකයින්ටත් කරන්න ඕනේ මේටිකම තමයි. ඔවුන්ට කඩේ යන එක නවත්වන්න.

    Reply 0       0

    Deepal Nirosh Tuesday, 19 September 2023 09:37 PM

    මේ පරාජයේ වීරයා ලංකා කණ්ඩායම් නායකයා, පරාජයේ උපදේශකයා ශ්‍රී ලංකා පුහුණුකරු, තරඟයේ වීරයා සහ පින්වතා තම ඒක පුද්ගල ත්‍යාගය තණතිලි සැකසුම්කරුවන්ට ප්‍රදානය කළ ඉන්දීය ක්‍රීඩක මොහමඩ් සිරාජ්, පරාජයේ භෞතික වීරයා වෙනදාට නුපුරුදු තණතීරුවක් තරඟයට සූදානම් කළ තණතිළි සැකසුම්කරු, පරාජයේ සුබ උපන්දින සැමරුම්කරු නරේන්ද්‍ර මෝදි කියලත් මට ඇහුණා. මේ ඔක්කොමත් හරි කියමුකෝ... ඒත් කවුරුවත් දන්නවාද නම් මේ පරාජයේ මහ මොළකරු කවුද කියලා?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.