Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ ඉන්දියාවේ අපරාජිත බව රකිති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

පිතිකරුවෝ ඉන්දියාවේ අපරාජිත බව රකිති

editorial - 2023 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද බෙංගලූරු නුවර සිට..)

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර බෙංගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 160 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියාව, ‍සිය අපරාජිත බව රැකගනිමින් තරගාවලි‍යේ මූලික වටය නිමා කළේය. මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අතරින් තවමත් අපරාජිතව සිටින්නේද ඉන්දියාව පමණි.

ජයග්‍රණය සඳහා ලකුණු 411 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත කණ්ඩායමට ඕවර 47.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 250 ක් පමණි. නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ තේජා නිදමනුරු පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 54 ක් රැස්කළ අතර සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් පන්දු 80 කින් ලකුණු 45 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ මොහොමඩ් සිරාජ්, ජස්ප්‍රීට් බුම්රා, කුල්දීප් යාදව් සහ රවින්ද්‍ර ජදේජා කඩුලු 2 බැගින් බිඳහෙළමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ අතර විරාට් කෝලි සහ රෝහිත් ශර්මා කඩුල්ල බැගින් දවාගනිමින් ඔවුන්ට අනගි සහායක් ලබාදුන්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, ශ්‍රෙයාස් අයියර්ගේ (නොදැවී 128) සහ ලෝකේෂ් රාහුල්ගේ (102) ප්‍රවේගකාරී පිතිහිරඹයන් හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 410 ක් ලබාගත්තේය. පන්දු 94 කට මුහුණදෙමින් ඉන්දීය ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි අයියර් හයේ පහර 5 කින් සහ හතරේ පහර 10 කින් සිය 4 වැනි එක්දින ශතකය අලංකාර කළේය.

පන්දු 64 කදී ලබාගත් සිය 7 වැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සැරසීමට රාහුල් සමත් විය. ඉන්දීය ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව පන්දු 128 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 208 කි. පන්දු 56 කට මුහුණදෙමින් විරාට් කෝලි ලබාගත් 71 වැනි එක්දින අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ඝත විය.

නායක රොහිත් ශර්මා (61) සහ ශුබ්මන් ගිල් (51) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 54 කදී වාර්තා වූ ශර්මාගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින්ද, පන්දු 32 කදී වාර්තා වූ ගිල්ගේ අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය.

 

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 410

(රෝහිත් ශර්මා 61, ශුබ්මන් ගිල් 51, විරාට් ‍‍කෝලි 51, ශ්‍රෙයාස් අයියර් නොදැවී 128, ලෝකේෂ් රාහුල් 102, බස් ඩි’ලීඩ් 82/2)

නෙදර්ලන්තය - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 250

(මැක්ස් ඕ’ඩොව්ඩ් 30, කොලින් ආක්මන් 35, සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් ‍45, ස්කොට් එඩ්වඩ්ස් 17, තේජා නිදමනුරු 54, ලෝගන් වැන් බීක් 16, රෙලොෆ් වැඩ්ඩර් මර්ව් 16, මොහොමඩ් සිරාජ් 29/2, ජස්ප්‍රීට් බුම්රා 33/2, කුල්දීප් යාදව් 41/2, රවින්ද්‍ර ජදේජා 49/2) 


අදහස් (0)

පිතිකරුවෝ ඉන්දියාවේ අපරාජිත බව රකිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.