Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිතිකරුවෝ ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙනයති
ආසියානු කුසලාන 2023

පිතිකරුවෝ ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙනයති

editorial - 2023 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)‍

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 2 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව ලබන ඉරිදා (17 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 42 කට සීමා කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් හිමිවිය. කඩුලු 8 ක් දැවී තරගයේ අවසන් පන්වේදී එම ඉලක්කය සපුරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, පසුගිය වර (2022) අනු ශූරයන් ගෙදර යවමින් 12 වැනි වරටත් අසියානු කුසලාන අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූහ. පන්දු 47 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 49 ක් රැස්කළ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

යළිත් වරක් ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් සිය වගකීම අකුරටම ඉටුකළ කුසල් මෙන්ඩිස්, පන්දු 87 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 91 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය. පැතුම් නිස්සංක (29) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 57 ක්ද, සදීර සමරවික්‍රම (48) සමග එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 98 කදී ලකුණු 100 ක්ද එක්කළ මෙන්ඩිස් ජයග්‍රහණය අඩිතාලම දැමුවේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 42 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තේය. එහිදී ලකුණු 130 කට කඩුලු 5 ක් දැවී ගොස් බිඳවැටී තිබූ පාකිස්ථාන ඉනිම ගොඩගත් මොහොමඩ් රිස්වාන් (නොදැවී 86) සහ ඉෆ්තිකර් අහමඩ් (47) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 108 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූහ.

ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැදී සිටි රිස්වාන් පන්දු 73 කදී වාර්තා වූ සිය අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සැරසුවේය. පන්දු 40 කදී වාර්තා වූ ඉෆ්තිකර්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. මතීෂ පතිරණගේ පන්දුවක් හමුවේ දසුන් ශානක අතට උඩ පන්දුවක් දෙමින් ඉෆ්තිකර් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 9 ක්ව තිබියදී ආරම්භක පිතිකරු ෆකාර් සමාන් (4) පිටියෙන් ඉවත් කිරීමට ප්‍රමෝද් මධුෂාන් සමත් වුවද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 64 ක් එක් කළ අබ්දුල්ලා ශෆීක් (52) සහ නායක බාබර් අසාම් (29) පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 69 කදී වාර්තා වූ ශෆීක්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ‍පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට කැඳවා සිටියහ.

පාකිස්තාන කණ්ඩායම වෙනස්කම් 5 ක් සමග මෙම තරගයට ක්‍රීඩා කළ අතර එහිදී ඉමාම් උල්හක්, අගා සල්මාන්, ෆාහීම් අෂ්රෆ්, නසීම් ෂා සහ හාරිස් රවුෆ් වෙනුවට අබ්දුල්ලා ශෆීක්, මොහොමඩ් හාරිස්, මොහොමඩ් නවාස්, ‍මොහොමඩ් වසීම් සහ සමාන් ඛාන් පාකිස්තානය කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.

ප්‍රමෝද් මධුෂාන් ...

 

බ්දුල්ලා ශෆීක්...

 

මොහොමඩ් රිස්වාන්...

 

මතීෂ පතිරණ...

 

ඉෆ්තිකර් අහමඩ්...

 

බාබර් අසාම්...

 

පැතුම් නිස්සංක...

 

සධීර සමරවික්‍රම...

 

කුසල් මෙන්ඩිස්...

 


අදහස් (0)

පිතිකරුවෝ ශ්‍රී ලංකාව අවසන් සටනට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.