Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පීඩනයේ හොඳම හරිය ඉදිරියේ
සුදුසුකම් තේරීමේ තරගාවලිය

පීඩනයේ හොඳම හරිය ඉදිරියේ

editorial - 2023 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)
 
තමන් වෙත එල්ල වන පීඩනයේ උපරිමය දැනෙන්නට ගන්නේ ලෝක කුසලාන තරගාවලියේදී බැවින්, තමන් ඇතුළු කණ්ඩායමේ සම්පූර්ණ අවධානය ඒ වෙතට යොමු කරන බව දසුන් ශානක කියයි. බුලවායෝ නුවරදී පෙරේදා (02 වැනිදා) පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9 කින් පරාජය කිරීමෙන් පසුව දසුන් ශානක එසේ කීවේය. 
 
“ලෝක කුසලාන තරගාවලියේදී අපි අදහගන්න බැරි ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා අපි ලෝක කුසලාන තරගාවලියේ සිටිය යුතුම කණ්ඩායමක්. පීඩනය මෙතනත් තියෙනවා තමයි. ඒත් නියම පීඩනය මොකක්ද කියලා දැනෙන්නේ ප්‍රධාන තරගාවලියෙදියි. ඒ නිසා අපපේ අවධානය සහ ප්‍රධාන ඉලක්කය ලෝක කුසලාන තරගාවලිය වෙතටයි” යයි දසුන් ශානක මාධ්‍ය හමුවේදී පැවසීය. 
 
සිම්බාබ්වේ පිලට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් සමගින් සුපිරි 6 දෙනාගේ වටයේදී පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. එය තවත් තරගයක් ඉතිරිව තිබියදීම, ඔක්තෝබරයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට එක පයක් තබාගැනීමකි. 
 
“ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම විශාල ජයග්‍රහණයක්. නමුත් අතීතයේ තිබුණු ලෝක කුසලාන තරඟවලදී අපි කළේ මොනවාද කියන්න අපි හොඳට දන්නවා. අපි 1996 ලෝක කුසලානය දිනාගත්තා වගේම 2011 දී අනුශූරයන් වුණා.” 
 
“මෙහි (සිම්බාබ්වේ) පැමිණි කණ්ඩායම දිහා බලන කොට, අපි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන බව දැනගෙන හිටියා. ඒ අතර සමහර කණ්ඩායම් අපට හොඳ සටනක් දුන්නත්, වඩා හොඳ කණ්ඩායම අපි කියලා දැන් ඔප්පු වෙල තියෙනවා” යයි දසුන් වැඩිදුරටත් කීවේය. 
 
ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය සඳහා සිම්බාබ්වේ බල ගිය දිනයේ සිටම ශ්‍රී ලංකාව අපරාජිත කණ්ඩායමකි. පළමු වටයේදී තරග 4 ක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හය දෙනාගේ වටයේදීත් සහභගි වූ තරග දෙකම ජයගත්තේය. ඉතිරිව ඇත්තේ කොදෙව් පිලට එරෙහි තරගය පමණි. 
ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර තරගය ලබන ඉරිදා (9 වැනිදා) පැවැත්වෙයි. 
 
“අපි එක වෙලාවකට ගන්නේ එක පියවරයි. ඒ නිසා කිසිම තරගයක් පහසුවෙන් ගන්නේ නෑ. ඇරත් මේ (සුදුසුකම් තේරීමේ) තරගාවලියට ආපු කණ්ඩායම් අතර හොඳම කණ්ඩායම කියලා පෙන්නන්න අපට ඕනෑ කරලා තියෙනවා” යයි දසුන් ශානක වැඩිදුරටත් පැවසීය. 
 
1975 දී ආරම්භ වූ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවරක් (1975 සහ 1979) දිනාගැනීමට කොදෙව්වන් සමත් වූවත් කොදෙව් කණ්ඩායම මේ වන විටත් 2023 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී ගොස් තිබේ. ශ්‍රී ලංකාව 1975 සිටම ලෝක කුසලාන තරග බිමේ සිටින කණ්ඩායමකි. 
 
“මෙහි ඉන්න ක්‍රීඩකයන්ට එක එක තාලේ දස්කම් තියෙනවා. ඒ දස්කම් එක්ක, අපි අපේ මූලිකාංග වල ඇලී ගැලී හිටියා. මොකද, මොන තත්ත්වයන් යටතේ වුණත්, ඒක තමයි සාර්ථකත්වයට අවශ්‍යම දේ” යයි ද දසුන් කීවේය. 

අදහස් (1)

පීඩනයේ හොඳම හරිය ඉදිරියේ
  • randil Tuesday, 04 July 2023 04:16 PM

    එක මැච් එකකදීවත් ටීම් එක වෙනුවෙන් ලකුණු 50ක් නොදුන්න... කයිවාරු නම් එමටයි. අනිත් කොල්ලො ටික මැච් දිනවලා දුන්නේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.