Last Update  :  2024-12-18 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බලාපොරොත්තු රඳවාගැනීමේ අවසාන අවස්ථාව
ඛෙබාරා ටෙස්ට් තරගය

බලාපොරොත්තු රඳවාගැනීමේ අවසාන අවස්ථාව

editorial - 2024 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තැබූ බලාපොරොත්තු එහි අවසන් කඩඉම ට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඛෙබාරා (පැරණි පෝර්ට් එළිසබෙත්) නුවරදී හෙට (05 වැනිදා) ආරම්භ වන ටෙස්ට් තරගය ශ්‍රී ලංකාවට එතරම්ම වැදගත් තරගයකි. 

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නේ එහි ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙකය. ඩර්බන් නුවරදී ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් පසුව දකුණු අප්‍රිකානුවෝ එහි දෙවැනි ස්ථානයට පැනගත්හ. තුන්වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව ඩර්බන් පරාජයෙන් පසුව පස්වැනි ස්ථානයට ඇද වැටුණ නමුත් එංගලන්තයෙන් සහ නවසීලන්තයෙන් දඬුවම් ලකුණු අඩු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි ස්ථානයට පැමිණ සිටී.  

එබැවින් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය පිළිබඳ බලාපොරොත්තු තැබීමට නම්, ඕස්ටේ්‍රලියානුවන් හා ගාල්ලේදී තරග වැදීමට පෙර දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව හෙට ඇරඹෙන තරගයේ ජය ශ්‍රී ලංකා පිලට ඕනෑකර තිබේ. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගයට පිවිසෙන්නේ ඔවුන්ගේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නන් දෙදෙනකු නොමැතිවය. ඒ දෙදෙනා වෙනුවට ශාන්ත ජෝර්ජ් උද්‍යානයේදී දකූණු අප්‍රිකානු පිලට එක්වීමට ඩෑන් පීටර්සන් සහ ක්වේනා මපාකාත්, දඟ පන්දු යවන්නකුවන සෙනුරන් මුතුසාමිත් ඇඟිළි ගනිමින් සිටිති. මුතුසාමි හුදෙක් දඟ පන්දු යවන්නකු පමණක් නොවේ. බලාපොරොත්තු තැබිය හැකි පසුපෙළ පිතිකරුවෙකි. 

ඩෑන් පීටර්සන් වසර 15 ක පමණ කාලයක් තිස්සේ පළමු පෙළ තරග වලට සහභාගි වන පළපුරුදු ක්‍රීඩකයකු වන අතර මපාකා තවමත් අවුරුදු 18 ක ඉලන්දාරියෙකි. මපාකාගේ විශේෂත්වය වන්නේ ඔහු පිළිබඳ ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවකු කිසිවක් නොදන්නා කමයි.
 
වමත් වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන පසුබෑම ද අද ඊයේ තිබෙන්නක් නොවේ. පැයට කිලෝ මීටර 140 කට ආසන්න වේගයකින් පන්දු වමතින් වේග පන්දු යවන්නකු වන 18 හැවිරිදි මපාකා දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවා ඇත්තේ එබැවිනි. 

1993 දීත් දකුණු අප්‍රිකානු පිලේ සිටි වමත් වේග පන්දු යවන්නා වූ බ්‍රෙට් ෂුල්ට්ස් ශ්‍රී ලංකා කණ්ඩායම විනාශ කළේය. කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති ටෙස්ට් තරගයේදී කඩුලු 9 ක් දවාගත් ෂුල්ට්ස්, ඉනිමක සහ ලකුණු 208 ක ජයක් කරා දකුණු අප්‍රිකානු කණ්ඩායම කැඳවාගෙ ගියේ තරගාවලියේ ජයත් දකුණු අප්‍රිකානුවන්ටම හිමිකර දෙමිනි. 1993 තරගාවලියේදී ෂුල්ට්ස් කඩුලු 20 ක් දවාගත්තේය. 

වේග පන්දු යැවීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානුවන්ගේ අංක එකේ තේරීම වන කගීසෝ රබාඩා සහ වමත් වේග පන්දු යවන්නා වන මාකෝ යැන්සන් හෙට තරගයේදීත් නව පන්දුව උපයෝගී කරගනු ඇත. 

“අපි මීට ඉස්සරත් මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. ආපසු ඔළුව උස්සලාත් තියෙනවා... ” යයි කී නමුත් ශ්‍රී ලංකා පිතිකරුවන් වමත් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන ආකාරය කෙබඳුද යන්න පිතිහරඹ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා විමසිල්ලෙන් බලා සිටී. 

“අපට ඉන්නේ හොඳ පළපුරුදු කණ්ඩායමක්”

“මම හිතන්නේ නෑ ක්‍රීඩකයන් මානසිකව වැටිලා කියලා. එංගලන්තයේදී වුණත් අපි මුහුණ දුන්නේ මේ වගේම තත්ත්වයකට තමයි. ඒත් අපි ටෙස්ට් තරගයක් දිනාගත්තා” යයි තිළිණ කණ්ඩම්බි මහතා ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවියට පවසා තිබිණ. 

පසුගිය එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු ලයිස්තුවේ කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය වූයේ අංක 3 යි. චන්දිමාල්ගේ ස්ථානය අංක 5 විය. කමිඳු මෙන්ඩිස් අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසියේය. 

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී අංක 3 ස්ථානය බාරගැනීමෙන් පසු, එතැන් සිට දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 30, 61, 116, 0 සහ 83 ක් වශයෙනි. ඊට සාපේක්‍ෂ වශයෙන් අංක 3 සිට අංක 7 ස්ථානයට තල්ලු කිරීමෙන් පසුව කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 50, 23, 106, 0 සහ 48 ක් ලෙසිනි. මේ අතරවාරයේදී අංක 5 ස්ථානයට පැමිණි කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීම 114, 13, නොදැවී 182, 13 සහ 10 ක් ලෙසින් සටහන් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පිතිකරු ලයිස්තුව ශක්තිමත් එකකි. අහඹු ලෙසින් ඩර්බන් නුවරදී ලකුණු 42 කට දැවී ගිය නමුත්, කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයෙන් පිටියට පිවිසීම යනු ශ්‍රී ලංකා පිතිකරු ලයිස්තුවේ ශක්තිය මොනවට ප්‍රදර්ශනය කරන්නකි. 

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න වෙත එල්ල වී තිබෙන පීඩනය නම් වැඩිවෙමින් තිබේ. 

දිමුත්ගේ අවසන් ටෙස්ට් ඉනිම 5 සටහන් වූයේ 02, 83, 46, 02 සහ 04 ක් ලෙසිනි. එසේ වුවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයේ සිටින දිමුත් කරුණාරත්න (7144) යනු ඕනෑම මෙහොතක අනපේක්‍ෂිතවූත්, සුවිශේෂී වූත් පිතිහරඹයක නිරත විය හැකි ක්‍රීඩකයෙකි.

තරගය හෙට ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතය. 


අදහස් (0)

බලාපොරොත්තු රඳවාගැනීමේ අවසාන අවස්ථාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.