Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂට මූණ දෙන එක මටත් අභියෝගයක් - මැතිව්ස්

මතීෂට මූණ දෙන එක මටත් අභියෝගයක් - මැතිව්ස්

editorial - 2024 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය දඹුල්ලේ සිට... )

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නවතම තරුව වන මතීෂ පතිරණට මුහුණදීම පිතිකරුවකු හමුවේ ඇති විශාලතම අභියෝගය බවත්, පුහුණු දැළ තුළදී පවා මතීෂට මුහුණ දීම මහත් අසීරු අභියෝගයක් බවත් ඇන්ජලෝ මැතිව්ස් කියයි. මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයා පමණක් නොවේ. ඔහු ටෙස්ට් තරග 107 කට, එක්දින තරග 226 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 83 කට සහභාගි වූ, වසර 12 ක ජාත්‍යන්තර තරග අත්දැකීම් ඇති, මේ වන විට ලෝකයේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවෙකි. මැතිව්ස් සතු අන්තර්ජාතික ලකුණු සංඛ්‍යාව 14,000 ඉක්මවයි. 

“මතීෂ පතිරණට නෙට් එකේදී (පුහුණුවීම් අතරේ) මූණ දෙන එක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය”

“එයා පන්දු යවන විදිහට හුඟාක් පිතිකරුවන්ට බෝලේ පේන්නේ නෑ. අනිත් එක ඒ එන වේගෙන්.. (දිගින් දිගටම පැයට කිලෝමීටර 150 ඉක්මවන වේගයක්) අත කෙලින් කරලා දැම්මත් මුහුණ දෙන්න අමාරුයි. ඒත් මෙහෙම එනකොට (අත පැත්තෙන් එන විට) හිතාගන්න පුළුවන් නේද කොයි තරම් අමාරුද කියලා” යයි රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී 19 වැනිදා පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන් පසුව මැතිව්ස් පැවසීය. 

මෙම තරගයේදී තරගයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් කියා සිටියේ මතීෂ පතිරණ ඉදිරියේදී ක්‍රීඩා කරන ආකරය තමන් ආශාවෙන් බලා සිටින බවයි. 

“එයා පුද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් වලටත් (විස්සයි-20 ලීග් ක්‍රිකට්) සෙල්ලම් කරලා, ඒ අත්දැකීම් අරගෙන, පොඩි කාලෙකදී ලොකු දුරක් ඇවිත් තියෙනවා. එයාට තාම වයස 21 යි. ඒත් තරගයක අවසන් ඕවරයකදී ලකුණු 12 ක් ආරක්‍ෂා කරගන්න කිව්වොත්, ඔහු තරග 10 කින් තරග 9 ක් හෝ 8 ක් දිනවලා දෙනවා. ඔහු ඒ තරම්ම අමාරු පන්දු යවන්නෙක්”

“අපි එයාව හොඳට බලාගන්න ඕනේ.. එයාගේ ශාරිරික යෝග්‍යතා වැඩසටහන් හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔහු ඉතාමත් හොඳ විනයක් තියෙන ක්‍රීඩකයෙක්.”

“මම හුඟක් ආසාවෙන් බලා ඉන්නවා ඔහු ඉදිරියේදී ක්‍රීඩා කරන විලාසය ගැන” යයි මැතිව්ස් කීවේය. 

පසුගිය කාලයේදී මැතිව්ස් විස්සයි-20 කණ්ඩායමෙන් ඉවත් කර තිබුණේ ‘මන්දගාමී’ ලේබලය අලවමිනි. එහෙත් නව තේරීම් කමිටුවේ ආගමනයත් සමගින්,  විස්සයි-20 පිටියේදී තමන්ට කළ හැකි දේ මේ යයි, මාස දෙකක් ඇතුළතදී මැතිව්ස් දෙවතාවක්ම පෙන්නුම් කළේය. සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයේදීත් පන්දු 38 කින් ලකුණු 46 ක් ලබා තරගයේ වීරයා වූ මැතිව්ස්, සඳුදා පන්දු 22 කින් ලකුණු 42 ක් ලබාගත්තා පමණක් නොව, ලකුණු 09 කට කඩුලු 2 ක් දවාගනිමින් යළිත් වතාවක් තරගයේ වීරයා විය. 

මැතිව්ස් තරගයට පැමිණියේ හොඳ සූදානමකිනි. 

තරගය ආරම්භ වූයේ රාත්‍රී 7.00 වූවත්, පස්වරු 4.00 ට පමණ පිටියට පැමිණි මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දුන්නේ ඔහුගේ කලව මස්පිඬුව තරමක දැඩි ගතියක් පෙන්නුම් කළ බැවිනි. 

“තරගය අතර මැදදී පිට්ටනියෙන් එළියට එන්න මට ඕන වුණේ නෑ. ඒ නිසයි මම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට මුහුණ දුන්නේ. ඒකෙන් ප්‍රශ්නයක් පෙනුනේ නෑ” යයි ද මැතිව්ස් පැවසීය. 

සිය ඉනිම ආරම්භයේදී මැතිව්ස් ගැසූ සෑම පහරකින්ම පාහේ පන්දුව පන්දු රකින්නන් වෙත ඇදී ගියෙන් මැතිව්ස්ට ලැබුණේ පන්දු 8 කින් ලකුණු 3 ක් පමණි. එහෙත් අනෙක් අන්තයේ සිටි සධීර සමරවික්‍රම ස්ථාවරව පන්දුවට පහර දෙමින් සිටි බැවින් මැතිව්ස්ට පහසුවෙන් ලකුණු කරා යාමේ අවස්ථාව ලැබිණ.

“අපේ සැලැස්ම වුණේ සධීර ඉනිම අවසන් වන තුරුම පන්දුවට පහර දෙන්නයි. මොකද කලින් තරගයේදී අපට ඕවර 20 ටම මුහුණ දෙන්න බැරිවුණා. සධීර එයාගේ වැඩ කොටස අකුරටම කරපු නිසා මට විශ්වාසයක් තිබුණා මම දැවී ගියත් සධීර ඉන්නවානේ කියන එක”

“ඒ හින්දා මම අන්තිම ඕවර දෙකේදී ලොකු පහරවලට ගියා” යයි මැතිව්ස් කීවේය. 

19 වැනි ඕවරයේදී අස්මතුල්ලා ඔමර්සායිට පිට පිටම හයේ පහර 3 කින් සංග්‍රහ කළ මැතිව්ස්, අවසන් ඕවරය යැවූ නවීන් උල් හක්ගෙන් තවත් ලකුණු 09 ක් උදුරා ගත්තේ පන්දු 22 කින් ලකුණු 42 ක් ලබාගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පත්කර ඇති නායකයන් තිදෙනාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මහත් ප්‍රශංසා මුඛයෙන් කතාකළ මැතිව්ස් කීවේ නව නායකයන් තිදෙනාම (ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග) ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් තම තමන්ගේ කණ්ඩායම් මෙහෙවන බවයි. 

“එයාලා තරුණ ක්‍රීඩකයන්ට වගේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ටත් විශ්වාසනීයත්වය දෙනවා. ක්‍රීඩකයෝ වෙන වෙන දේවල් ගැන වදවෙන්නේ නැතුව, වින්දනයක් ලබමින්, නිදහසේ ක්‍රීඩා කරනවා” යයි මැතිව්ස් කීවේය. 

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට, එකම සංචාරයකදී තරගාවලි තුනක් සම්පූර්ණයෙන්ම ජයගෙන තිබුණේ 2014 එංගලන්ත සංචාරයේදීය. ඒ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙනි. එහිදී ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, එක්දින තරගාවලියත් 3-2 ලෙසින් ජයගත් පසුව ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති එකම විස්සයි-20 තරගයත් ලකුණු 09 කින් ජයගත්තේය. එකම සංචාරයකට ඇතුළත් වූ තරගාවලි තුනක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ වසර 10 කට පසුවය. එහෙත් ඒ නායකයන් තිදෙනකු යටතේ ක්‍රීඩා කරමිනි. 

වනිඳු හසරංග සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයෙදීම (2017 දී සිම්බාබ්වේ පිලට එරෙහිව ගාල්ලේදී) කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින්, ක්‍රිකට් ලෝකය මවිත කළ අයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔහු ප්‍රියකරන සීමාවන් තිබෙන නමුත් ඒවායින් ඔබ්බට යාමේ විශිෂ්ට හැකියාවක් ද වනිඳු හසරංගට තිබේ. 

විස්සයි-20 කණ්ඩායමේදී පාවෙන පිතිකරුවා ඔහුය. ඔහුට පිතිකරු ලයිස්තුවේ අංක 4, 5, 6 හෝ 7 යන ඕනෑම තැනකින් පිටියට පිවිස පන්දු යවන්නන් අන්ද මන්ද කළ හැකි ආකාරයේ පහර කීපයකින් ඔවුන්ට සංග්‍රහ කළ හැකිය. දඹුල්ලේදී පැවැති තරග දෙකේදීම හසරංග කළේ එයයි. පළමු තරගයේදී අංක 6 ස්ථානයෙන් පැමිණ පන්දු 32 කින් ලකුණු 67 ක් ලබාගත් නායකයා, දෙවැනි තරගයේදී ඊබ්‍රහිම් සද්රාන්ගේ විශිෂ්ට උඩපන්දුවකට ගොදුරු වීමට පෙර පන්දු 9 කින් ලකුණු 22 ක් ලබාගත්තේය. 

“එයා පළවැනි බෝලේ ඉඳලාම එළෝ එළෝ ගහනවා. ඒක නියමයි. මමත්, දසුනුත් දෙන්නාම පිතිකරු ලයිස්තුව් පහළින් ඉඳිද්දී, වනිඳුගෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්නෙ නැත්තේ ඇයි” යයි මැතිව්ස් විමසයි. 

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර අවසන් විස්සයි-20 තරගය හෙට (21 වැනිදා) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

මතීෂට මූණ දෙන එක මටත් අභියෝගයක් - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.