Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
නවසීලන්ත සංචාරය වෙනුවෙන් නම් කරන ලද ටෙස්ට් සංචිතයට නවක ක්‍රීඩකයන් දෙදෙනකු වන නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක දෙදෙනාම ඇතුළත් කර තිබේ.
එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පැවැති පුහුණු තරගයේදී ලකුණු 150 ක් ලබාගත් නිශාන් මධුෂ්ක පළමු පෙළ තරගාවලියක් වූ සිව්දින තරගාවලියේදී විශිෂ්ට ද්විත්ව ශතකයක් සහ ශතකයක් (241 සහ 100 ක්) ලබාගත්තේය. එංගලන්ත ලයන්ස් පන්දු යවන්නන් හමුවේ පිට පිටම තරග 3 කදී නිශාන් මධුෂ්ක ලබාගත් ලකුණු සංඛ්‍යාව 514 කි.
වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි මිලාන් රත්නායක 26 හැවිරිදි දකුණත් වේග පන්දු යවන්නෙකි. ලයන්ස් පිලට එරෙහිව පළමු සිව්දින තරගයට පමණක් ක්‍රීඩා කළ රත්නායක එහි දෙවැනි ඉනිමේදී (31/3) සාර්ථක පන්දු යැවීමක නිරත වූවත්, පළපුරුදු ටෙස්ට් වේග පන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු වැන්නන් හමුවේ කණ්ඩායම තුළ ස්ථානයක් ලබාගැනීම සඳහා සුවිශේෂී යමක් කළ යුතුව තිබේ.
පසුගිය ජූනි මාසයේදී ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් ඔහුගේ ආදේශකයා ලෙසින් පැමිණි ඕෂධ ප්‍රනාන්දු පාකිස්තානයට එරෙහිව පැවැති තරග දෙකේදීම ආරම්භක පිතිකරුවා ලෙසින් අර්ධ ශතක දෙකක් ලබාගත්තේය. එබැවින් නවසීලන්ත සංචාරයේදීත් දිමුත් කරුණාරත්නගේ සහාය ආරම්භක පිතිකරුවා වීමේ අවස්ථාව ඕෂධට ඇතත් නිශාන් මධුෂ්ක කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ට ඇතිකරන්නේ සුළුපටු පීඩනයක් නොවේ.
දිගින් දිගටම පවතින පිටකොන්දේ ආබාධය නිසා පැතුම් නිස්සංකට මෙම සංචාරය අහිමි වී තිබේ. එහෙත් ප්‍රතිකාර ලබමින් සිටින පැතුම් නිස්සංක නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වනු ඇතැයි ද දැනගන්නට ඇත.
කණ්ඩායමේ අංක 7 හෝ අංක 8 පිතිකරුවා වීමේ අවස්ථාව චාමික කරුණාරත්නට තිබේ.
එහෙත් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ එදා දවසේ සංයුතිය අනුව රඳා පවතින්නකි. වමතින් දඟ පන්දු යවන්නන් තිදෙනකුම ටෙස්ට් සංචිතයට තෝරාගෙන ඇතත් සංචාරය සඳහා කවුරුන් එක්වේද යන්න අවිනිශ්චිතය.
ඕස්ටේ්රලියාව සහ පාකිස්තානය හමුවේ ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරග 3 කින් කඩුලු 29 ක් ලබාගත් ප්‍රභාත් ජයසූරිය ඔවුන් අතුරින් ඉදිරියෙන්ම සිටින දඟ පන්දු යවන්නාය. එහෙත් ඊයේ (12 වැනිදා) හම්බන්තොටදී අවසන් වූ ජාතික සුපිරි ලීග් තරගයකදී ප්‍රභාත් ජයසූරිය හමුවේ ලක්ෂාන් එදිරිසිංහ (129), ඇන්ජලෝ මැතිව්ස් (105), පැතුම් කුමාර (151) සහ රමේෂ් මෙන්ඩිස් (149) ශතක ලබාගත්හ. ප්‍රභාත් ජයසූරිය යැවූ ඕවර 53 න් කොළඹ පිතිකරුවන් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 142 කි. ප්‍රභාත්ට දවාගත හැකිවූයේ කඩුල්ලකි.
මෙම තරගාවලියේ තරග 3 කදීම ප්‍රභාත් ජයසූරිය දවාගෙන ඇත්තේ කඩුලු 4 කි. රමේෂ් මෙන්ඩිස් මෙම තරගාවලියේදී කඩුලු 11 ක් දවාගත් නමුත් ජාතික සුපිරි ලීග් (සිව්දින) තරගාවලිය බෙහෙවින් දියාරු වූත්, තරගකාරීත්වයෙන් ඉතාමත් දුර්වල වූත් තරගාලියකි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, කමිඳු මෙන්ඩිස්, නිශාන් මධුෂ්ක, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ප්‍රවීන් ජයවික්‍රම හෝ ලසිත් ඇඹුල්දෙණිය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.