Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මම බැලුවේ කුසල්ගේ 100 ගැන - ධනංජය
ගාල්ල ටෙස්ට් තරගය - 2

මම බැලුවේ කුසල්ගේ 100 ගැන - ධනංජය

editorial - 2024 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට...) 

ධනංජය කියපු දේ කළේය. 

පළමු ටෙස්ට් තරගය ජයගත් නමුත් තම පිතිකරුවන් පළමු ඉනිමේදී අසාර්ථක වූ බවත් සිය පිට දඟ පන්දු යවන්නා හොඳින් පන්දු නොයැවූ බවත් නායකයා එළිපිටම කියා සිටියේය. ඔහු දෙවැනි ටෙස්ට් තරගයට පිවිසියේ පළමු තරගයේදී කළ වැරදි අකාමකා දමන බවට දුන් පොරොන්දුවක් සමගිනි. 

වසර 15 කට පසුව නවසීලන්තය ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද  ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය තහවුරු කරගෙන සිටී. එහෙත් එතැනින් ඉහළ නැගීම අසීරු කාරියකි. 

“මම තරගාවලියෙන් තරගාවලිය තමයි බලන්නේ. ගොඩාක් දුර තියෙන තරග දිහා බැලුවොත් අපිට ළඟ තියෙන තරගාවලිය හොඳින් කරගන්න බැරිවෙන්න පුළුවන්.. මම ක්‍රීඩකයන්ටත් හැම තිස්සේම කියන්නේ ඒකයි”

“අපි අපට කරන්න පුළුවන් දේවල් හොඳින් කරගෙන යමු. එතකොට ප්‍රසාද ලකුණු පුවරුවේදී වෙන්න ඕන දේ ඉබේම වෙයි කියලා තමයි මම ක්‍රීඩකයන්ට කියන්නේ” යයි ධනංජය ද සිල්වා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය. 

අවස්ථානුකූලව, හොඳින් සිතාබලා ක්‍රීඩා කළ හැකි පිරිසක් වත්මන් ටෙස්ට් කණ්ඩායමේ සිටිති. තරුණ ක්‍රීඩකයන් වුවද ඔවුන් ක්‍රීඩා කරන්නේ පරිණත ක්‍රීඩකයන් විලසිනි. 

“ඒගොල්ලන්ගෙන් මට ඕන දේ කරගන්න පුළුවන්. මේ තරගයේදී වුණත් අපි  ප්‍රබල වෙනස්කම් දෙකක් එක්කයි තරගයට ආවේ. ඒත් ඒගොල්ලන්ගෙන් අපි බලාපොරෙත්තු වුණ දේවල් හරියටම වුණා. ඒගොල්ලන් (මෙම තරගය සඳහා ඇතුළත් කළ ක්‍රීඩකයන්) ඒ ඒ වගකීම් බාරගෙන සෙල්ලම් කරපු නිසා තමයි අපි මේ තරගය මේ විදිහට ඉවර කළේ.... ඒ ගැන ගොඩක් සතුටුයි.”යයි ධනංජය කීවේය. 

නවසීලන්තය යනු වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක යෙදෙන, අන්තර්ජාතික කණ්ඩායමකි. එබැවින් පළමු ඉනිමේදී කළ වැරදි දෙවැනි ඉනිමේදී සිදුවන්නට ඔවුන් ඉඩ දෙන්නේ නැත. මුල් ඉනිමේදී ලකුණු  88 කට දැවී ගියත් දෙවැනි ඉනිමේදීත් ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගැනීමට සිතීම මුළාවකි. 

ධනංජය මේ යථාර්තය හොඳින් දැන සිටියේය. 

“දෙවැනි ඉනිමේදී කඩුල්ලත් සෑහෙන්න මන්දගාමී වුණා. අපිත් වෙහෙස වෙලා හිටියේ... ඒ කොහොම වුණත් ඒ ගොල්ලන් දෙවැනි ඉනිමේදී හොඳින් පන්දුවට පහර දුන්නා” ය යන්න ධනංජයගේ විවරණයයි. 

වර්තමාන ටෙස්ට් කණ්ඩායම ස්ථාවර කණ්ඩායමකි. පිතිකරු ලයිස්තුව ස්ථාවරය. පන්දු යවන්නන් ද හොඳින් පන්දු යවමින් සිටිනවා පමණක් නොව, තරගයේන් තරගයට වෙනස් කළ හැකි ආකාරයේ පන්දු යවන්නෝත් කණ්ඩායමේ සිටිති. 

පිටියේ සිටින 11 දෙනාට අමතරව, ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටින, නැතිනම් බංකුවේ සිටින ක්‍රීඩකයන්ගේ ශක්තිය වැඩිවන තරමට කණ්ඩායමේ දස්කම් ඉහළ යයි. බංකුවේ සිටින ක්‍රීඩකයන්ගෙන් පිටියේ සිටින ක්‍රීඩකයන්ට පීඩනය එල්ලවන තරමට පිටියේ සිටින 11 දෙනාගේ දස්කම් ඉහළ යාම අනුයාත සං සිද්ධියකි. 

“කලින් අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ අපේ පිතිකරුවන්ගේ සාමාන්‍යය මට්ටම ඉහළ ගිහින් තියෙනවා. ඒක සෑහෙන්න හොාඳ දෙයක්” ධනංජය කියයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 602 ක් ලබා ඉනිම අත්හිටුවන විට කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182 ක් ලබා සිටියේය. ඔහුගේ ද්විත්ව ශතකයට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 18 කි. විනාඩි වශයෙන් ගතහොත් විනාඩි 15 ක් වැනි කාලයකි. එහෙත් ඒ කිසිවක් නොසිතා ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටවූයේ පෙනි පෙනී තිබුණු ටෙස්ට් ද්විත්ව ශතකය කමිඳු මෙන්ඩිස්ට අහිමි කරමිනි. 

එසේ වුවත් නායක ධනංජය කීවේ එය කණ්ඩායම වෙනුවෙන් ගත් තීරණයක් බවයි. 
“කමිඳුගේ 200 ට වඩා මම බැලුවේ කුසල් මෙන්ඩිස් 100 ගහනකම් ඉන්න. මොකද එයා සෑහෙන කාලයකින් 100 ක් ගහලා තිබ්බේ නෑ”

“කමිඳුගෙත් තව වාර්තාවක් තිබුණා. (ටෙස්ට් ඉනිම 13 කින් ලකුණු 1000 ට ළඟාවීම). අපි ඒකත් බලලා තමයි ඉනිම අත්හිටවූයේ. මම හිතන්නේ ඒ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීන්දුව ඒකයි. ඒ ගැන මම පසුතැවෙන්නේ නෑ.” යයි නායකයා කීවේය. 

නිශාන් පීරිස්ව කණ්ඩායමට කැඳවූයේ රමේෂ් මෙන්ඩිස් පළමු තරගයේදී කඩුලු 6 ක් දවාගෙන සිටියදීය. එය බෙහෙවින් විවාද සම්පන්න තීරණයකි. එහෙත් නායකයා ඒ වෙනුවෙන් උත්තර බැන්දේය. 

“එයා දේශීය තරගවලදීත් හුඟාක් හොඳින් පන්දු යවලා තිබුණා. මම කතා වෙවී හිටියේ දඟ කැවෙන තණතීරුවකදී වුණත් ලකුණු සංඛ්‍යාව අඩුවෙන් තියාගන්න පුළුවන් පන්දු යවන්නෙක් ඉන්න ඕනෑ කියන එකයි. එතකොට තමයි අනෙක් පැත්තට පීඩනය දාන්න පුළුවන්”

“මේ තරගයේදී එයා ඒ කාර්යය හොඳින්ම කළා කියලා මම හිතනවා” යයි ධනංජය කීවේය. 
නවසීලන්තය මුල් ඉනිමේදී ලකුණු 88 කට දවාගැනීම සඳහා ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත් නිශාන් පීරිස්, දෙවැනි ඉනිමේදී ආක්‍රමණිකයා වෙමින් කඩුලු 6 ක් දවාගත්තේය. 

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් බැගින් දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර හත්වැනියා වන නිශාන් පීරිස්, පාසල් ක්‍රීඩකයකුව සිටියදීම ජාතික තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානයට ලක්වූ අයෙකි. එහෙත් නිශාන් පීරිස් හා සම වයස් කාණ්ඩයේ සිටින (1997 - 1998 වර්ෂ වල උපන්) චරිත් අසලංක සහ සම්මු අෂාන් දෙදෙනාම පිට දඟ පන්දු යවන්නන් වීමට අමතරව ඉදිරිපෙළ පිතිකරුවන් ද වූයෙන් 2016 දී 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව නිශාන් පීරිස්ගෙන් ගිළිහී ගියේය. 

එහෙත් පසුව දිගින් දිගටම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් හොඳින් පන්දු යවමින් සිටි නිෂාන් පීරිස් මෙම තරගය සඳහා ගෙන්වාගත්තේ දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් සිටියදීය. 


අදහස් (2)

මම බැලුවේ කුසල්ගේ 100 ගැන - ධනංජය
  • Rohitha Rajapaksha Monday, 30 September 2024 04:25 PM

    ධනංජය ඔයා කරපු වැඩේ වැරැදියි. මොකක්ද තව පොඩි ගාණක් ගන්න තිබුණේ කමිඳුට 200ට... ඔයා නායකයෙක් විදිහට ගත්තු තීරණය හොඳ නෑ.

    Reply 0       0

    chinthana Thursday, 03 October 2024 10:32 AM

    කුසල් කාලෙකින් 100ක් ගහලා නෑ. ඊටත් වඩා කාලෙකින් කවුරුවත් 200ක් ගහලා නෑ. කුසල්ට විශේෂ සැලකීමක් තියෙන බව ධනංජය පිළිගත්තා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.