Last Update  :  2025-01-04 09:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස්වෙල්ගේ ද්විත්ව ශතකය ඕස්ට්‍රේලියාව දිනවයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

මැක්ස්වෙල්ගේ ද්විත්ව ශතකය ඕස්ට්‍රේලියාව දිනවයි

editorial - 2023 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ග්ලේන් මැක්ස්වෙල්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 292 ක ඉලක්කයයක් හඹාගිය ඕස්ට්‍රේලියාව ඕවර 46.5 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්තේය. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 128 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 21 ක් සමග නොදැවී ලකුණු 201 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය. මෙය ඕස්‍ට්‍රේලියානු පිතිකරුවකු එක්දින තරගයකදී ලබාගත් පළමු ද්විත්ව ශතකය බවටද පත් විය.

ලකුණු 91 කට කඩුලු 7 ක් බිඳවැටී ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් මැක්ස්වෙල්, නායක පැට් කමින්ස් (නොදැවී 12) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 170 කදී ලකුණු 202 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 68 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් කමින්ස් ඒ සඳහා මැක්ස්වෙල්ට අනගි සහායක් දැක්වීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 291 ක් ලබාගත් අතර ඇෆ්ඝනිසථාන ඉනිම නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 143 කට මුහුණ‍ෙ දෙමින් නොදැවී ලකුණු 129 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.

රාමට් ෂා (30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 100 කදී ලකුණු 83 ක්ද, නායක හෂ්මතුල්ලා ශහිදි (26) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 76 කදී ලකුණු 52 ක්ද එක්කළ සද්‍රාන්, ඉන් නොනැවතී රෂීඩ් ඛාන් (නොදැවී 35) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 52 ක නොබිදුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ‍

අවසන් ඕවර කිහිපයේදී පන්දු 18 කට මුහුණදුන් රෂීඩ් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සැරසීය. අස්මතුල්ලා ඔමර්සායි පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද රැස්කරමින් ඇෆ්ඝනිස්ථාන ඉනිම ගොඩනැගීම සඳහා සද්‍රාන්ට අනගි සහායක් දුන්හ.

ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 291

(රහ්මනුල්ලා ගුර්බාස් 21, ඊබ්‍රහීම් සද්‍රාන් නොදැවී 129, රාමට් ෂා 30, හෂ්මතුල්ලා ශහිදි 26, අස්මතුල්ලා ඔමර්සායි 22, රෂීඩ් ඛාන් නොදැවී 35, ජොෂ් හෙසල්වුඩ් 39/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 46.5 කදී කඩුලු 7 ක් දැවී 293

(ඩේවිඩ් වෝනර් 18, මිචෙල් මාෂ් 24, මානස් ලැබුෂේන් 14, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 201, පැට් කමින්ස් නොදැවී 12, රෂීඩ් ඛාන් 44/2, නවීන් උල්හක් 47/2 අස්මතුල්ලා ඔමර්සායි 52/2)


අදහස් (1)

මැක්ස්වෙල්ගේ ද්විත්ව ශතකය ඕස්ට්‍රේලියාව දිනවයි
  • Pradeep Kumara Wednesday, 08 November 2023 08:26 AM

    ශ්‍රී ලාංකික ක්‍රීඩකයිනි, ඔන්න බලාගන්න බිඳ වැටුණු ඉනිම් ගොඩ නගන ආකාරය. අපේ ඉනිමක 91/7 වෙලා තිබුණා නම් උපරිම 110ක් ගහයි. 91/7 තිබුණු එක 293/7 තත්වයට ගේනවා කියන්නේ ඔබලාට ඉගෙන ගන්න ගොඩක් දේවල් ඒ ඉනිමේ තියනවා. මේවා තමයි නියම ගේම්.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.