Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෝහිත් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

රෝහිත් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය පිතිකරු‍වෝ, ඕවර 35 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.

ප්‍රවේකාරී පිතිහරඹයක නිරත වූ නායක රෝහිත් ශර්මා පන්දු 84 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 131 ක් රැස්කරමින් ඉන්දීය කණ්ඩා‍යමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. මෙම ඉනිමත් සමග එදා මෙදා තුර ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ශතක ලාභියා (7) බවටත්, ජාත්‍යන්තර තරගවලදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (555) එල්ල කළ ක්‍රීඩකයා බවටත් පත්වීමට රෝහිත්ට හැකි විය.

ඉෂාන් කිෂන් (47) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු  112 කදී ලකුණු 156 ක සම්බන්ධතාවක් ‍ගොඩනගමින් ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද රෝහිත් සමත් විය. පිට පිටම දෙවැනි අර්ධ ශකකය ලබාගත් විරාට් කෝලි, ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ අතර පන්දු 56 කින් ලබාගත් ඔහුගේ 67 වැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 272 ක් ලබාගත්තේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රී‍ට් බුම්රා සිය ඕවර 10 ලකුණු 39 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගැනිමට සමත් විය. ලකුණු 43 කට කඩුලු 2 ක් බිඳහෙළූ හර්දීක් පාණ්ඩ්‍යා, ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා බුම්රාට අනගි සහායක් ලබා දුන්නේය.

මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් වන විට ඇෆ්ඝනිස්ථාන කණ්ඩාය‍මේ තෙවැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් අස්මතුල්ලා ඔමර්සායි (62) සමග එක්වූ නායක හෂ්මතුල්ලා ශහිදි (80) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

එහිදී පන්දු 88 කට මුහුණදුන් ශහිදි, හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය 17 වැනි එක්දින අර්ධ ශතකය සැරසූ අතර පන්දු 69 කදී වාර්තා වූ ඔමර්සායිගේ දෙවැනි එක්දින අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. ඔවුන් දෙදෙනා හැරුණු කොට සෙසු ඇෆ්ඝනිස්ථාන පිතිකරුවන්ට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වූහ.

 

ඇෆ්ඝනිස්ථානය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 272
(රහ්මනුල්ලා ගුර්බාස් 21, ඊබ්‍රහීම් සද්‍රාන් 22, රාමට් ෂා 16, හෂ්මතුල්ලා ශහිදි 80, අස්මතුල්ලා ඔමර්සායි 62, මොහොමඩ් නබී 19, රෂීඩ් ඛාන් ‍16, ජස්ප්‍රීට් බුම්රා 39/4, හර්දීක් පාණ්ඩ්‍යා 43/2)

ඉන්දියාව - ඕවර 35 කදී කඩුලු 2 ක් දැවී 273
(රෝහිත් ශර්මා 131, ඉෂාන් කිෂන් 47, විරාට් කෝලි නොදැවී 55, ශ්‍රෙයාස් අයියර් නොදැවී 25, රෂීඩ් ඛාන් 57/2)

 


අදහස් (0)

රෝහිත් ඉන්දියාවේ ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.