Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලිවිංග්ස්ටන්ගේ ප්‍රවේගය එංගලන්තය දිනවයි
2 වැනි එක්දින තරගය

ලිවිංග්ස්ටන්ගේ ප්‍රවේගය එංගලන්තය දිනවයි

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත නායකයන් දෙදෙනාම ශතක ලබාගත් නමුත් දෙදෙනාගෙන් වඩාත් වේගවත් වූ ලයාම් ලිවිංග්ස්ටන් අවසානයේදී ජයග්‍රාහකයා විය. පන්දු 15 ක් ඉතිරිව තිබියදී ලකුණු 329 ක ඉලක්කය සාර්ථකව හඹා ගිය ලිවිංග්ස්ටන් ප්‍රමුඛ එංගලන්ත පිතිකරුවෝ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කර ගත්හ. මෙම තරගය ජයගනිමින් 1-1 ක් ලෙසින් තරගාවලිය සමකිරීමටත් එංගලන්තය සමත් විය. 

එය ලයාම් ලිවිංග්ස්ටන්ගේ මංගල එක්දින ශතකය ද විය. එංගලන්ත එක්දින නායක ජොස් බට්ලර් තුවාල ලබා සිටීම හේතුවෙන් මෙම තරගාවලියේදී ලයාම් ලිවිංග්ස්ටන් එංගලන්ත එක්දින කණ්ඩායමේ නායකත්වය දරයි. 

පන්දු 77 කින් සම්පූර්ණ වූ ලිවිංග්ස්ටන්ගේ ශතකයෙන් ලකුණු 52 ක් ම පැමිණියේ හතරේ සහ හයේ පහර වලිනි. ලකුණු 124 ක් ලබාගත් එංගලන්ත නායකයා තරගය නිමාකර ආපසු ක්‍රීඩාගාරයට යන විට ඔහුගේ ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 9 කින් සමන්විත වී තිබිණ. පන්දු 85 කින් ලකුණු 124 ක් ලබාගත් ලිවිංග්ස්ටන්ගේ ප්‍රහාරාත්මක වේගය හෙවත් ලකුණු ලබාගැනීමේ වේගය 145.88% ක් විය. 

ලකුණු 329 ක ඉලක්කයක් කරා යාමේදී එංගලන්ත කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 160 කට බිඳ වැටුණ නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සෑම් කරන් (52) සහ නායකයා එංගලන්තය ජය මාවතට කැඳවාගෙන ආහ. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටෙන විට එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 27 කින් ලකුණු 29 ක් අවශ්‍ය වී තිබිණ.
 
සෑම් කරන්, පිල් සෝල්ට් (59) සහ ජේකබ් බෙතල් (55) අර්ධ ශතක ලබාගනිමින් එංගලන්ත ජයග්‍රහණය වෙනුවෙන් කදිම තල්ලුවක් දුන්හ. 

වේග පන්දු යවන මැතිව් ෆෝඩ් (48/3) සාර්ථක වූ නමුත් ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ගුඩාකේෂ් මෝති අසාර්ථක වීම කොදෙව්වන්ගේ පරාජයට බලපෑ ප්‍රධාන සාධකය විය. ඔහුගේ ඕවර 9 න් ලකුණු 71 ක් උදුරාගත් එංගලන්ත පිතිකරුවෝ මෝති හමුවේ තම තමන්ගේ කඩුලු පරෙස්සම් කරගත්හ. 

කෙදෙව් ඉනිම ආරම්භයේදීම බ්‍රැන්ඩන් කිං සහ එවින් ලුවිස් දෙදෙනා දැවී යාම හේතුවෙන් ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 2 කට 12 ක් ලෙසිනි. එහෙත් හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 117 ක් ලබාගත් කොදෙව් නායකයාත් කේසි කාටිත් (71) එක්ව ලකුණු 143 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් කණ්ඩායම ගොඩගත්හ. පසුව ශර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 36 න් ලබාගත් ලකුණු 54 ත්, පසුපෙළ පිතිකරුවන් අත දිගහැර පහරදීමත් නිසා කොදෙව්වෝ ලකුණු 328 ක් ලබාගත්හ. 

තරගයෙන් පසුව සිය ශතකය ගැන කළ විමසීමකදී කොදෙව් නායකයා කීවේ “කිසිම වැඩක් නැති එකක්” කියාය. 

“තරගයක් දිනවන්න බැරිනම් ඒ ශතකයෙන් ඇති වැඩක් නෑ” යයි ද ශායි හෝප් කීවේය. 
කොදෙව් පිතිහරඹය කෙතරම් ප්‍රචණ්ඩ වූයේද යත් එංගලන්ත කඩුලු රකින්නා වූ පිල් සෝල්ට් සහ ජෝර්ඩ්න් කොක්ස් හැරෙන්නට අනෙක් ක්‍රීඩකයෝ 9 දෙනාම පන්දු යැවූහ. 

තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය 6 වැනිදා බාර්බඩෝස්හිදී පැවැත්වෙයි. එහි ප්‍රතිඵලය අනුව තරගාවලියේ ජයග්‍රාහකයන් තීරණය කෙරෙනු ඇත. 


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 50 කදී කඩුලු 6 ට 328 යි
(කේසි කාටි 71, ශායි හෝප් 117, ශර්ෆේන් රදර්ෆර්ඩ් 54, ෂිම්රන් හෙට්මයර් 24, රොස්ටන් චේස් නොදැවී 20, මැතිව් ෆෝඩ් නොදැවී 23, ජෝන් ටර්නර් 42/2, අදිල් රෂීඩ් 62/2)

එංගලන්තය - ඕවර 47.3 කදී කඩුලු 5 ක් දැවී 329 යි
(පිල් සෝල්ට් 59, විල් ජැක්ස් 12, ලයාම් ලිවිංග්ස්ටන් නොදැවී 124, සෑම් කරන් 52, මැතිව් ෆෝඩ් 48/3)

 


අදහස් (0)

ලිවිංග්ස්ටන්ගේ ප්‍රවේගය එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.