Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳුගේ පිතිකරණ ස්ථානය අවස්ථාව අනුව වෙනස් වේවි

වනිඳුගේ පිතිකරණ ස්ථානය අවස්ථාව අනුව වෙනස් වේවි

editorial - 2024 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිඳු හසරංගගේ පිතිකරු ස්ථානය ඒ ඒ අවස්ථාවන්ට ගැළපෙන පරිදි වෙනස්වනු ඇතැයි ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවසීය. ඔහු ඒ බව කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ඊයේ (13 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. 

“වනිදු කියන්නේ වේගයෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒත් අපි ඔහුව යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ අවස්ථාව අනුවයි. පන්දුවට පහරදෙන වෙලාවට ඉනිම හැඩගැහෙන ආකාරය අනුව තමයි අපි ඔහුව භාවිතා කරන්න පුළුවන් විධිය ගැන බලන්නෙ. ඒ නිසා බොහෝ දුරට මේ තරගාවලියේදි ඔහු පාවෙන පිතිකරුවෙකු විධියට භාවිතා වෙයි.” යැයි තරංග මහතා සඳහන් කළේය. 

විස්සයි-20 ජාත්‍යන්තර තරග 65 ක ඉනිම් 55 ක් තුළ ලකුණු 650 ක් රැස්කිරීමට වනිඳු සමත්ව ඇත්තේ 130.52 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. එහිදී අර්ධ ශතක 2 ක්ද ලබාගෙන ඇති වනිඳු, හයේ පහර 14 ක් සහ හතරේ පහර 65 ක් එල්ල කර තිබේ. 2021 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී අයර්ලන්තයට එරෙහිව පන්දු 47 කින් ලබාගත් ලකුණු 71 ඔහුගේ හොඳම විස්සයි-20 ඉනිම ලෙස සටහන් වේ. 

මේ අතර තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් අතරින් ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන බවත්, එහිදී ධනංජය ද සිල්වාට කණ්ඩායමේ අතිරේක පිතිකරුවා ලෙස කටයුතු කිරීමට සිදුවන බවත් එහිදී තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේය. 

“පහුගිය සංචාර කිහිපයෙදිම ධනංජය ක්‍රීඩා කළේ ඉන් ඇන්ඞ් අවුට් විධියට. මේ තරගාවලියෙදිත් සමහර අවස්ථාවලදි අපිට ධනංජය කණ්ඩායමට ඇතුළත් කර ගන්න පුළුවන්. ඒත් දැනට තියෙන සංයුතිය අනුව ගොඩක් වෙලාවට ඔහුට ඉන්න වෙන්නෙ අතිරේක පිතිකරුවා විධියට. තරගාවලිය ආරම්භයෙදි ඇන්ජලෝ සහ දසුන් තමයි අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.” යැයි තරංග මහතා පැවසීය. 

තරංගට අනුව ධනංජය කණ්ඩායමට ඇතුළත් වන්නේ නම් ඔහුට පිතිහරඹයේදී යෙදීමට සිදුවන්නේ අංක 6 හෝ 7 ස්ථානවල වන බැවින් එම ස්ථාන සඳහා ඔහුට වඩා වැඩි වේගයකින් ලකුණු රැස්කිරීමේ හැකියාව ඇති මැතිව්ස් සහ දසුන් යොදා ගැනීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. 

විස්සයි-20 තරග 43 කට ක්‍රීඩා කර ඇති ධනංජය අර්ධ ශතක 3 ක් සමග ලකුණු 792 ක් රැස්කරගෙන ඇත්තේ 116.64 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. තරග 87 කදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 1354 ක් රැස්කරගෙන ඇති මැතිව්ස්ගේ ප්‍රහාරාත්මක වේගය 120.35 ක් ලෙසත්, තරග 97 කදී අර්ධ ශතක 5 ක් සමග ලකුණු 1444 ක් රැස්කරගෙන ඇති දසුන්ගේ ප්‍රහාරාත්මක වේගය 123.41 ක් ලෙසත් සටහන් වේ. 

යවන්නන් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිම අවසන් ඕවර කිහිපය යැවීම සඳහා සුදුසු පන්දු යවන්නන් සිටින බැවින් ඉනිම මුල අධිවේගී ඕවර කිහිපය යැවීම සඳහා පන්දුව දෝලනය කරමින් කඩුලු දවාගැනීමේ හැකියාව ඇති පන්දු යවන්නන් තෝරාගැනීමට වැඩි අවධානයක් යොමු කළ බවද තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියේය. 

“අපිට ඉනිම අවසානයේ පන්දු යවන්න මතීෂ පතිරණ, නුවන් තුෂාර වගේ ක්‍රීඩකයො ඉන්නවා. ඒත් අපිට ඉනිම මුල අධිවේගී ඕවරවල කඩුලු දවාගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. ඒ නිසා තමයි ඩිල්ෂාන් මධුෂංක, දුෂ්මන්ත චමීර වගේම අතිරේක ක්‍රීඩකයෙක් විදියට අසිත ප්‍රනාන්දුවත් මේ තරගාවලියට ගෙනියන්න අපි තීරණය කළේ.” යැයි තරංග මහතා පැවසීය. 

අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වන අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ මූලික සංචිතයට ඇතුළත්ව සිටියද, තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් දිනා නොමැති ක්‍රීඩකයන් දෙදෙනකු වන දුනිත් වෙල්ලාලගේ 15 දෙනාගේ සංචිතයටත්, විජයකාන්ත් වියස්කාන්ත් අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනා අතරටත් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය. 

“අපි අන්තිම කාලේ ක්‍රීඩා කළේ දඟ පන්දු යවන්නන් දෙන්නෙක් එක්ක. ඒත් අපිට දැනගන්න ලැබිලා තියෙන විධියට ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් තණතිළි ටිකක් මන්දගාමී ඒවා. ඒ නිසා අපිට දඟ පන්දු යවන්නන් තුන් දෙනෙක් එක්ක ක්‍රීඩා කරන්න අවස්ථාවක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි දුනිත්ව සංචිතේට ගෙනාවේ. ඔහුට හොඳින් පන්දුවට පහර දීමට හැකිවීමත් ඒකට තවත් හේතුවක් වුණා.”

“අපි පහුගිය කාලෙ අකිල, වැන්ඩසේ, වියස්කාන්ත් තුන් දෙනා දිහාම එක දිගට බැලුවා. ඔවුන් අතරින් වියස්කාන්ත් ගත්තාම ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරලා නැති වුණාට ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි වලදි එයා හුඟක් හොඳින් පන්දු යවලා තියෙනවා. ඒ නිසා ඔහුට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒකයි අපි ඔහු සමග ඉදිරියට යන්න බැලුවෙ.” යැයි තේරීම් කමිටු සාමාජික අජන්ත මෙන්ඩිස් මහතා පැවසීය. 


අදහස් (0)

වනිඳුගේ පිතිකරණ ස්ථානය අවස්ථාව අනුව වෙනස් වේවි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.