Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 221 ක් ඉදිරියෙන්
‘ඒ’ පිලේ පාකිස්තානු සංචාරය

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 221 ක් ඉදිරියෙන්

editorial - 2024 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

ශ්‍රී ලාංකිකයන් දෙවැනි ඉනිමේදී කළ ධෛර්වන්ත පිතිහරඹය නිසා යළිත් වරක් තරගයේ වාසිය අතට ගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම රාවල්පිණ්ඩි නුවරදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ලකුණු 221 කින් ඉදිරියට පැමිණ සිටී. සිව්දින තරගයේ තුන්වැනි දිනය වූ අද (13 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 364 ක් ලබා සිටියේය. 

සොනාල් දිනූෂ (නොදැවී 62) සහ විශ්ව ප්‍රනාන්දු (නොදැවී 00) ඒ වන විට පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 115 කට දැවී යාමෙන් පසුව පාකිස්තානු ‘ඒ’ ක්‍රීඩකයෝ ලකුණු 258 ක් ලබාගනිමින් ලකුණු 143 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ. එවන් අවාසියක් තිබියදීත් දෙවැනි ඉනිමේදී ධෛර්යවන්තව පිති හැසිරවූ ශ්‍රී ලංකා අහන් වික්‍රමසිංහ (53), නායක පසිඳු සූරියබණ්ඩාර (64), පවන් රත්නායක (60), සොනාල් දිනූෂ (නොදැවී 62) සහ අංක 9 පිතිකරු වනුජ සහන් (73) ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙම ස්ථාවර ස්ථානයට කැඳවාගෙන ආහ. 

ලකුණු 87 කට කඩුලු 3 ක් බිඳ වැටීමෙන් පසුව එක්වූ නායක පසිඳු සූරියබණ්ඩාර සහ පවන් රත්නායක සිව්වැනි කඩුල්ලට ලකුණු 126 ක් එක්කළහ. එහෙත් ලකුණු 13 ක් ඇතුළත පිතිකරුවන් සිව් දෙනකු දැවී යාම  හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු පුවරුව කඩුලු 7 කට 226 ක් සේ දිස්විය. ඒ වන විට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 83 ක වාසියක් පමණි. 

සොනාල් දිනූෂ සහ වනුජ සහන් එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 130 ක සම්බන්ධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 350 කඩඉම පසුකර ගියහ. ඒ වන විට ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායමේ වාසියද ලකුණු 200 ඉක්මවා තිබිණ. 

දිනයේ අවසන් විනාඩි කිහිපය වන විටත් සොනාල් දිනූෂ තම කණ්ඩායමේ වාසිය ඉදිරියට ගෙන යමින් සිටියේය. 


ශ්‍රී ලංකා ‘ඒ’ - පළමු ඉනිම 115 යි
(සොනාල් දිනූෂ 30, පසිඳු සූරියබණ්ඩාර 28, විශාද් රන්දික 18, ඉසිත විජේසුන්දර 13, කශීෆ් අලී 31/5, කුරාම් ශෙෂාඩ් 32/4)

පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම 258 යි
( අබ්දුල් ෆෂී 26, අලී සර්යබ් 55, මොහොමඩ් සුලෙයිමාන් 24, හුසේන් තලාත් 56, රොහේල් නසීර් 55, විශ්ව ප්‍රනාන්දු 44/4, ඉසිත විජේසුන්දර 49/2, නිසල තාරක 57/2)

ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම කඩුලු 9 ට 364 යි
(නිපුන් ධනංජය 28, අහන් වික්‍රමසිංහ 53, පසිඳු සූරියබණ්ඩාර 64, පවන් රත්නායක 60, සොනාල් දිනූෂ නොදැවී 62, වනුජ සහන් 73, කුරාම් ශෙෂාඩ් 70/4, කශීෆ් අලී 79/2, මොහොමඩ් සුලෙයිමාන් 21/2)


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 221 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.