Last Update  :  2024-12-21 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සති තුනක් යනතුරු බෑ කියූ දසුන් යළිත් පුහුණුවීම් අරඹයි
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

සති තුනක් යනතුරු බෑ කියූ දසුන් යළිත් පුහුණුවීම් අරඹයි

editorial - 2023 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර සිට..)

දකුණු පාදයේ මාංශ පේශීවල ආබාධයකට ලක්ව ඇතැයි කියමින් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අද (19 වැනිදා) පෙරවරු‍වේ පැය භාගයක පමණ කාලයක් ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වූ අයුරු දක්නට ලැබිණ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඉකුත් 16 වැනිදා පැවැති තරගයට දින 2 කට පෙර එනම් ඔක්තෝබර් මස 14 වැනිදා අන්තර් ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දසුන් දකුණු පාදයේ මාංශ පේශීවල ආබාධයකට ලක්ව ඇති බවත්, එම අබාධ තත්වය සුවවීම සඳහා සති 3 ක පමණ කාලයක් ගතවන බවත්ය.

ඒ අනුව සංචිතයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස රඳවාගෙන සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, දසුන් වෙනුවට සංචිතයට ඇතුළත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමණාකාරීත්ව කර ඇති ඉල්ලීමට තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් විය.

දසුන් වෙනුවට සංචිතයට කැඳවූ චාමික, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයට ක්‍රීඩා කළ නමුත් පිතිකරුවකු ලෙසත්, පන්දු යවන්නකු ලෙසත් ඔහුට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි විය. එහිදී ලකුණු 2 කට දැවී ගිය ඔහු, ඕවර 3 ක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 15 ක් ලබාදුන් නමුත් කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.

ආබාධයකට ලක්ව ඇති බව කීවද, ශ්‍රී ලංකාවට නොයවා අතිරේක ක්‍රීඩකයකු ලෙස දසුන් තවදුරටත් ශ්‍රී ලංකා සංචිතය සමග රඳවාගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ කලමණාකාරීත්වය කටයුතු කළේය. එවැනි වකවානුවක තවත් අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීරද ඉන්දියාවට ගෙන්වා ගැනීමට තේරීම් කමිටුව පිවර ගත්තේය.

කෙසේ වුවත් මෙම සිදුවීම් සියල්ල දෙස සාවදානව බලන කළ සිදුවීම් එකකට එකක් අතර යම් සම්බන්ධතාවක් ඇති බව පෙනී යනු ඇත. එමෙන්ම ඇත්ත වශයෙන්ම දසුන්ට ආබාධයක් තිබුණාද, තිබුණා නම් එය සුවවීමට සති තුනක කාලයක් ගතවන බව වාර්තා වෙද්දී, දින 5 ක් ඇතුළත ඔහු පුහුණුවීම් සඳහා සහභාගි වූ‍යේ කෙසේද යන්න ඉතා ගැටලු සහගතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු අතරට පිවිසි දසුන්, පන්දු 62 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළේය. එහෙත් පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී යළිත් අසාර්ථ වූ ඔහුට පන්දු 18 කට මුහුණ දෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

‍ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර ආසියානු කුසලාන තරගාවලියේ සහ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 11 කදී පිතිහරඹයේ යෙදී ඇති දසුන්, රැස්කිරීමට සමත්ව තිබුණේ ලකුණු 66 ක් පමණි. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 6.6 ක අගයක් ගත් අතර ඊට ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 2 ක්ද ඇතුළත් වී තිබිණ.


අදහස් (0)

සති තුනක් යනතුරු බෑ කියූ දසුන් යළිත් පුහුණුවීම් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.